සියලු යාදිනිද ඇමතුම්ද සිදුහත් ගෞතමයන්ගේ සවන් අසලට තරම්වත් ළං නොවීය. ඒ කාම සිතිවිලි ග්‍රාම්‍ය, ළාමක, නොමනා දෙයක්‌ බව සිදුහත්ට පසක්‌ වූයේ ඇසළ සැණකෙළි මැද රැය ගෙවද්දීය. එකල එහි සිටි ලියෝ මනරම් වූහයි සිතන්නට පවා සිදුහත් නොරිසිවිය. එදා ඔවුන්ට සිතුනේ ඒ නාටිකාංගනාවෝ සසර මැද අටවන ලද බිහිසුණු උගුලක්‌ සේය.

2011 අගෝස්‌තු 28 ඉරිදා 10

බිම්බිසාර රජුන් විස්‌මයට පත් කළ මොහොතක්


උරුවෙල කස්‌සප, නදී කස්‌සප, ගයා කස්‌සප යන තුන් බෑ ජටිලයන් වසා පැතිර තිබුණු සියලු අවිද්‍යා අන්ධකාරය දුරු කළ බුදුහු අවසානයේදී ඒ සියලු දෙනාම අරහත් භාවයට පැමිණවූහ. අනතුරුව බුදුන් වහන්සේ සිය සද්ධර්ම චාරිකාවේ අභිනව පියවර කෙරෙහි විමසිලිමත් වූහ. එසඳ උන්වහන්සේ සිත් සතන් මෙවන් හැඟීම් දහරාවකින් මනාවට සුසැදිණි.

බුදුවරු නම් ලොව අතිශය දුර්ලභයහ. එවන් බුදුවරයෙක්‌ පහළව සිටිනැයි දන්නෝද දුර්ලභයහ. දැන් මෙහි මා සමඟම දහසකට නොඅඩු ශ්‍රාවකයෝ පිරිසක්‌ද සිටිති. ගිනි දෙවියන් පුදමින් ද මිථ්‍යා ද්‍රHෂ්ටීන්හි ගිලෙමින් ද සිටි උරුවේල දනව්වම දැන් බුදු කරුණාවෙන් ප්‍රමුදිත මෙත් සිසිලක්‌ බවටද පත්ව ඇති සෙයකි. එහි සියලු බමුණු ගහපතියෝ ද අවශේෂ ජනයා ද අතර බොහෝ දෙනෙක්‌ තුන්සරණ ගොස්‌ සිටිති. කස්‌සප තෙරුන් නිසාම පැමිණි ගමන ද ඉඳුරා සඵල විය. දැන් මෙහි විසීමෙන් ඵලක්‌ ද නොවේ. අප්‍රමාදවම වෙනත් නුවරකට යා යුතුය. මේ ඒ සඳහා කාලයයි.

මේ අතර බුදුන් වහන්සේ අසපුව තුළ නොවූ බව දුටු කස්‌සප තෙරුන්, සිරිතක්‌ සේ උන් වහන්සේ සක්‌මන් කරන මළුව දෙසට ගමන් කළහ. කස්‌සප තෙරුන් බුදුන් වහන්සේ සමීපයට නොගොස්‌ මෑත නතර විය. බුදුහු තමන්ගේ පැමිණීම අපේක්‍ෂාවෙන් සිටිතියි දැනගත් තෙරුන් වහන්සේ ද උන්වහන්සේ වැඩ සිටි රුක්‌ මුල අසලටම ගොස්‌ ගෞරව දක්‌වා නමස්‌කාර කර එකත් පසව සිටියේය. බුදුහු තෙරුන් අමතා මෙසේ කීහ.

කස්‌සප තෙරුණුවනි, මම ඔබ සඳහා ම හුදෙක්‌ මෙහි පැමිණියෙමි. මගේ ඒ ගමන ඔබටද මේ ජනපදයට ද බොහෝ ඵල සහිත විය. දැන් මෙහි තුණුරුවන් කෙරෙහි පැහැදුණු ජනයෝ ද සිටිති. එහෙයින් ම වෙනත් නුවරකට යැමට සුදුසු කල් එළැඹ තිබේ. මම ඒ සඳහා ඔබටද වඩා සමීප මගධයෙහි රජගහ නුවර තෝරා ගනු රිසිමි.


එවදන් ඇසූ කස්‌සප තෙරුන් තුළ ද පහන් සිත් වැඩුණි. උන්වහන්සේ තම පහන් හැඟුම් බුදුන් වහන්සේ අබියස මෙලෙස මුදාහරින්දට විය. 

"ආශ්චර්යමත් භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මගධයෙහි, රජගහ නුවර තෝරා ගැනීම අපට ද කළ ගෞරවයක්‌ සේ ගනිමු. අපි දිගු කලක පටන් රජගහ නුවර ද මගධ අධිපති බිම්බිසාර රජුන් ද මනා සේ දනිමු. තවද මගධය යනු සියලු යස ඉසුරෙන් සපිරි රාජධානියකි. ඒ වටා ඉසිගිලිය, වේහාරය, වේපුල්ලය, පාණ්‌ඩවය, ගිඡ්ජකූටය යන පංච මහා කඳු පෙළක්‌ ද රැකවල් සේ පවතී. රමණීය වන උයන් ද රන්වන් කරලින් සුසැදි කෙත් වතු ද මියුරු පල පිරි ගෙවතු ද එහි වෙයි. හරිත වන බිම් ද මුදු තණ බිම් ද නිසා හමන මඳ නළ ද සුපිවිතුරුය. දූවිලිද වෙනත් අපවිත්‍ර දේවල්ද නොමැත. යුහුයුහුව යනෙන ජනී ජනයා ද කොවේ මහවේද දුටුවන්ගේ මන බඳියි. වෙළෙඳ සල්පිල්ද නොඅඩුය. මහා ධනීහුද උන්ට නෑ සබඳකම් ඇති කුලීන ලියෝ ද සඳලුතලවල සිටිති. එවන් රමණීය නුවරකට පිවිසෙන බුදුපාමොක්‌ සඟ ගණ සුපිපි ඇහැල මල් වැටක්‌ සේ සුදිලෙනු නිසැකය. අපටද ඒ සඳහා අවසර දුන මැනවි."

කස්‌සපය, මේ සා විශාල පිsරිසක්‌ එකම මඟ වැඩීමද එකම නුවරක රැඳීම ද යන කරුණ මම පිරික්‌සමින් සිටිමි. එසේ වුවද ඉන් මහත් ඵල උදාවේ යෑයි මම කල්පනා කරමි. ඔබට තවත් යමක්‌ කීමට ඇත්දැයි යළි බුදුහු තෙරුන් විමසූහ.

එසඳ කස්‌සප තෙරණුවෝ යළි මෙසේ එහි ඵල ද සෙත ද පැහැදිලි කරන්නට වූහ. බුදුහු සියලු තතු ඉඳුරා දත් නමුදු කස්‌සප තෙරුන්ට ඉඩදී මුවින් නොබැණම සිටියහ.

"භාග්‍යවතුන් වහන්ස, අතැඹුලක්‌ සේ සියලු තතු මනාව දන්නා ඔබ වහන්සේට කාරණා කීමේ අප සමර්ථ නොවෙමු. ඉන් සෙතක්‌ ද නොවේ. එසේ වුවද මම මෙසේ ගෞරවයෙන් ම කියන්නෙමි. මෙවන් බුදු පෙරහරක්‌ දිස්‌ වන පළමු නුවර රජගහ නුවර වීමද ආශ්චර්යයක්‌ වන්නේය. ඒ දක්‌නා දෙවි බඹහු සාදු නද දෙන්නාහුය. බමුණු ගෘහපතියෝද ජනී ජනයා ද මහත් සේ ප්‍රමුදිත වන්නාහුය. පෙර අපට අනුග්‍රහ දැක්‌වූ බිම්බිසාර රජුන් තුළ ඇතිවන ප්‍රසාද චිත්තය ද අසාමාන්‍ය වේ. ලොව අඳුර දුරලන බුද්ධ නමැති සූර්යයා මිහිකතට බැස සඟ ගණ පිරිවරා වඩිනු දකින දකින නෙත් ශ්‍රද්ධාවෙන් උතුරා යනු ඒකාන්තය. රජගහ නුවර දෙවිපුරක්‌ සේ පිබිදෙනු නිසැකය. තුණුරුවන් දැකම තුණුරුවන් සරණ යන ජනයා කෙබඳු වාසනාවක්‌ ලද්දෝද? එපුවත් තුඩින් තුඩ ඇදී පළමුව මුළු මගධ දේශයෙහිද අනතුරුව අසල් දේශයන්හිද සුළඟක්‌ සේ පැතිර යනු ඇත. අමා ගඟ ගලා යමින් අවා දුක්‌ නිවා දනන් සුවපත් කරවනු ඇත.

බුදුහු කස්‌සප තෙරුන් තුළ වූ ප්‍රසාදය උපේක්‍ෂාවෙන් ඉවසූහ. ලෝවැඩ සඳහා ද ජනයාගේ අර්ථ සිද්ධිය සඳහා ද කැප වූ සුනිමල පරමාදර්ශ පිළිවෙත ගරු කිරීම බුදු සිරිතය. මෙහිදී පෙර තමන් වහන්සේ තාපස දිවිය ඇරැඹූ මුල් යුගයෙහි බිම්බිසාර රජුන් හමු වූ අයුරු ද උන්වහන්සේට සිහි විය. බිම්බිසාර රජු විසින් ප්‍රසාදයට පත්ව තමන් වහන්සේට රාජ්‍යයෙන් පරිත්‍යාග කළ අයුරු ද උන්වහන්සේට සිහි විය. අනතුරුව එය පිළිකෙව් කළ විට රජුන් විසින් කරන ලද ඇරයුම ද උන්වහන්සේට සිහි විය. ඒ ඇරයුම මෙසේ විය. එනම් උන්වහන්සේ යම් දිනක සත්‍යාවබෝධය ලැබ බුද්ධත්වයට පත්වන්නේ ද එසඳ පළමුවෙන්ම මගධ රාජ්‍යයට වඩින ලෙසය. ඒ සියලු හේතු පිරිසිඳ දත් බුදුහු කස්‌සප තෙරුන්ගේ අයෑදුම පිළිගත්හ.

බුදුන් වහන්සේ පෙරටු කර ගත් දහසක්‌ පමණ මහ රහතන් වහන්සේලා වඩිනා මඟ දෙපස ඉබේම මනාව සකැසිණි. රළු ගල් හා තන්හි තන්හි වූ මුල්ද නොපෙනී වඩනා මඟ සුදු පාවඩයක්‌ අතුරන ලද කලක මෙන් විය. තුරු පෙළ මලින්ද පලවලින් ද අලංකාර විය. අහස වළා වියන් සේ දැඩි හිරුඑළිය මුවා වී ගියේය. සුපිපි මල් ගොමුවලින් සුවඳ ගලා මඳ නළ හා මුසුව ඇදී ආවේය. මඳකුදු විඩාවක්‌ නොවීය. දෙව් බඹහු මඟ දිගට රැඳී සිටියහ. ඇතැම් ගමකින් රහතන් වහන්සේලා වසිද්දී එගම්වැසියෝ ඇවැසි ආහාර දානයෙන් පාත්‍ර පුරවාලූහ. දෙපස සුනිල දිය විල්ය. එහි ජලය නොඉඳුල් විය. පාතරාසය ද දහවල ද වළඳන බුදුන් ප්‍රමුඛ රහතන් වහන්සේලා දුටු දුටු දනන්ට විසිතුරු ද ශාන්ත ද දසුන්ම විය.

මෙලෙස රජගහනුවර තෙක්‌ මඟ ගෙවූ බුදුහු කස්‌සප තෙරුන් ප්‍රමුඛ රහතන් වහන්සේලා සමග සුප්පතිට්‌ඨාරාම නමින් හැඳින් වූ තන්හි නතර වූහ. දනව්වැසියෝ එපවත් අසා මේ මහඟු විසිතුරු දසුන දකුම්හයි සිතා එදෙසට වන්හ. බමුණු ගහපතීහුද වෙනත් ප්‍රභූහුද ඒ අතර වූහ. ඔවුන් අතින් පුවත් ඇසූ කුලකතුන්ට ද ඒ දසුන් නරඹනු රිසි පහළ විය. මෙලෙස දවසින් දවස පැතිරෙන ගඟදියක්‌ සේ දනන් තුඩග රැව් දුන් බුදුන් වහන්සේ පිළිබඳ පුවත බිම්බිසාර රජුන්ටද ලැබිණි. ඒ ඇසූ රජු පස්‌වනක්‌ ප්‍රීතියෙන් පිනා ගොස්‌ දැන් මාගේ සියලු අභිලාෂයන් මුදුන් පමුණුවා ගත හැක්‌කේ යෑයි සිතීය.

බිම්බිසාර තෙමේ ලහි ලහියේ සුප්පතිට්‌ඨාරාම වෙත යැමට සූදානම්ව ඒ බව අගබිසවට ද දැන්වීය. ඇය ද පුත් අජාසත් කුමරුන් ද සමග එහි යැමට අවසර පැතුවාය. අනතුරුව රජ ඇතුළු සියලු පිරිස සුවඳ පැනින් ස්‌නානය කර සුවඳමලින් සැරසී මංගල අස්‌රිය බලාපොරොත්තුවෙන් සඳලු-තලයෙහි ම වූහ. ස්‌වල්ප වේලාවකට පසු අසු කුර ගැටෙන හඬනැඟිණි. රජු බිසව හා කුමරුන්ද සමග සඳලුතලයෙන් බැස අස්‌රියට ගොඩ විය. පිරිස රැගත් රථාචාර්ය තෙමේද මඳ වේගයෙන් අසුන් එළවමින් ස්‌වල්ප වේලාවකින් තල් උයන සීමාවට ළඟා විය. බිම්බිසාර රජු දුරටම කහවතින් සුදිලෙන උයනත් අවටත් දුටුවේය. මඟ දෙපස ඒ වනවිටත් ජනතාව රැඳී සිටියහ. රාජපුරුෂයන් ඔවුන් ඉවත් කිරීමට සැරසෙනු දුටු රජු වහාම එය වළක්‌වා ලීය.

ඉනික්‌බිතිව රජු අස්‌රියෙන් බැස මිරිවැඩි සඟල පමණක්‌ මුදා පයින්ම බුදුන් දකින්නට යැම මැනවැයි සනිටුහන් කර ගති. අගබිසව ද ඇගේ පරිවාර ලියෝද ඉතා චාම් ඇඳුමින් සැරසී සිටියහ. ඒ වූ කලී ශාන්ත දසුනක්‌ම විය. වෙනදා බඹර ගුමු නඟන විහඟ රැව් නද දෙන උයන අසපුවක සිරිගෙන ඇති අයුරු බිම්බිසාර රජුට පසක්‌ විය. සෙමෙන් ගරු සරු ඇතිව ඉදිරියට ගිය රජු හා පිරිස හරිත වර්ණ තණ තීරය මත නතර වූහ.

බුදුන් වහන්සේ අසලම රැඳී සිටි කස්‌සප තෙරුන් එක්‌වරම බිම්බිසාර රජුට හඳුනා ගැනීම දුෂ්කර වූයේ උන්වහන්සේ ශ්‍රමණ වෙසින් සිටි හෙයිනි. අනතුරුව රජු බුදුන්ට නමස්‌කාර කළේය. අගබිසව ඇතුළු සෙසු පිරිස්‌ද එලෙසම නමස්‌කාර කළහ. මඟ දෙපස රැස්‌ව සිටි පිරිසද තරමක්‌ මෑතට පැමිණ ඒ ඒ තැන්වලම හිඳ ගත්හ. වෙනදා නම් රාජපුරුෂයෝ රජුන් සිටින ඉසව්වකට හෝ ඔවුන්ට පැමිණීමට ඉඩ නොදෙති.

මෙහිදී රජුට මෙන්ම අගබිසවට ද කිසියම් කුහුල් සිතක්‌ පහළ වී තිබිණි. කුමක්‌ ද යත් තමන් කලක පටන් හඳුනන, එලෙසම තමන්ට අර්ථයෙන් හා ධර්මයෙන් ද අනුශාසනා කළ කස්‌සප තෙරුන් හා බුදුන් වහන්සේ යන දෙදෙනා අතරින් කවරෙක්‌ ගුරුතන්හි සිටිත් ද යනුයි. එයට හේතුද බොහෝ විය. ඒ උරුවෙල් කස්‌සප තෙමේ එහි සිටි රජු ප්‍රමුඛ බොහෝ දෙනකුගේ ගෞරවයටද වන්දනාවට ද පාත්‍ර වීය. පෙරදින සියල්ලෝම ඔහුගේ අතවැසියන් ලෙසම වූහ. ඔහුගේ ආශ්‍රමයෙහි අග්නි පූජා, යාග කර්මාදියටද එක්‌ව සිටියහ. තවද ඔවුන්ට ආහාර දාන වෙනත් ප්‍රදාන යනාදියෙන්ද සංග්‍රහ කළහ. එබඳු ප්‍රකට අයෙක්‌ සිය සහපිරිවරද සමග මෙසේ සිටීම ඔවුන්ට විස්‌මය දැනවීම ස්‌වභාවිකය. එසේම බුදුන් වහන්සේගේ විලාසය ද ප්‍රසන්න මධුර බවද කස්‌සපයන් කෙරෙන් නොදිස්‌ විය.

මෙසේ රජු ද අගබිස ද වෙනත් බමුණු ගහපතියෝද හුදී ජනයාද වික්‌ෂිප්තව සිටිතියි දත් කස්‌සප තෙරුන් වහන්සේම වහාම බුදුන් වහන්සේ දෙසට නැමී නමස්‌කාර කර මෙසේ කීවේය.

මහරජතුමනි, අගබිසවනි, මෙහි කිසිදු කුහුලක්‌ වැඩීමට හේතු නැත්තේය. මාගේ ස්‌වාමි දරු වූ අප අබියස වැඩ හිඳින්නාවූ සිදුහත් ගෞතමයෝ එසේ මෙසේ උත්මයෙක්‌ නොවන්නාහ. මේ ලෝක ධාතු වෙහිද එයින් ඔබ්බෙහි ද උන්වහන්සේගේ ගෞරවයට, අභිමානයට, ශ්‍රේෂ්ඨත්වයට විශිෂ්ටත්වයට ළං කළ හැකි අයෙක්‌ නොවෙති. සියලු දෙව් බඹහු උන්වහන්සේගේ ශ්‍රීපාද පද්මය භක්‌තියෙන් සිඹ වන්දනා කරන්නෝය. බුද්ධ විලාසයට සමකළ හැකි කිසිවෙක්‌ ලොව පෙරද දැන්ද මතු ද නොවන්නේය. මේ ලොව පහළ වූ ප්‍රඥ ඇස සේ ගනු මැනවි. මේ අවිදු අඳුර නසන ළහිරු මඬල සේ සලකනු මැනවි. බුදු උපත යනු ආශ්චර්යකි. දස බිම්බරක්‌ මරු සමග උන්ගේ මර දූවරු ද බුදු මහිමය වැඬලිය නොහී දුවන්නාහු මේ මිහිකත ගුගුරා ගිය වග සිහි කළ මැනවි. මම ද ඒ අසමසම බුදු ගුණ දිටිමි. රාග, දෝෂ, මෝහ, මාන දිට්‌ඨි යන කෙලෙස්‌ හැර නිවන් දිටිමි. ඒ ගැඹුරු ධර්මය ලෝ වැඩ පිණිස දේශනා කිරීම සඳහා මම උන්වහන්සේගේ ශ්‍රාවක වීමි. මගේ දෙබෑයෝද අපගේ පරිවාර පිරිස්‌ද මා අනුව එලෙස ශ්‍රාවක බවට පත්වූහ. අපි අවිදු අඳුරෙන් මිදුණෙමු.

බිම්බිසාර රජු ප්‍රමුඛ සියල්ලෝම අනතුරුව සාදු නාද දුන්හ. උරුවේල කස්‌සපයන් ප්‍රමුඛ සියල්ලන්ටම ගුරු වන්නා වූ බුදුහු නම් ආශ්චර්යවත් ආලෝකයක්‌ම වෙතියි ඔවුන්ටද හැඟිණි.

බුදුහු කස්‌සප තෙරුන් පිළිබඳ අතීත පුවත් ද බිම්බිසාර රජුන් ප්‍රමුඛ පිරිසට පෙන්වා දුන් සේක. යළි රජු ඇමතූ බුදුන් වහන්සේ මෙසේද වදාළ සේක.

මහරජ ඔබ මගධ රාජ්‍යයෙහි අධිපතිය. මේ දඹදිව තිබෙන යමුනා, අචිරවතී, සරභූ, මහී යන ගංගා ඔබ ඉඳුරා දන්නෙහිය. මහරජ මේ සියලු ගංගාවලින් අප්‍රමාණව ජලය ගලා බසියි. ඒවා සාගරයට වැටෙයි. එසේ සාගරයට වැටුණු ගඟ දියෙහි මේ අචිරවතී දියය. මේ ගංගා දියය. මේ යමුනා දියය යනාදී වශයෙන් වෙන් වෙන්ව හඳුනා ගත නොහැක්‌කේය. එලෙසම මේ සියලු පිරිස අතරද වෙන වෙනම ඔවුන් හඳුනාගත නොහැකි වන්නේය. මන්ද යත් මේ සියලු දෙනාම බුද්ධ ශ්‍රාවකයන් වන හෙයිනි. දැන් මේ කිසිවකුට පැරැණි නම් නැත. පැරැණි ඇදහිලි විශ්වාස ද නැත. ඔවුහු එකම බුද්ධ ශ්‍රාවක පිරිසක්‌ බවට පත්ව සිටිති. සියල්ලෝම බුදු සසුනෙහි අභිවර්ධනය සඳහාම කැපව සිටිති. මහරජ මෙම රජගහ නුවර සියලු දැයෙන් සුපුෂ්පිත මනරම් රජදහනකි. මෙහි අනේක ජනී ජනයා සිටිති. එහෙත් ඔවුන් සියලුදෙනාටම මවිසින් පසක්‌ කර ගන්නා ලද සද්ධර්ම නමැති අමා පැන් ලැබ ගත නොහැක්‌කාහ. ඒ සඳහා ප්‍රඥවද අවබෝධය ද වුවමනා වේ. මගේ සසුනේ පදනම සීලයයි. එහි නිෂ්ඨාව විමුක්‌තියයි. එනම් නිවන් අවබෝධයයි. ගඟක, දොළක කොතැනකින් දිය දෝතක්‌ ගත්තද එහි රසය එකමය. මාගේ සසුනද එබඳුමය. එහි ඇත්තේ නිවන නමැති සුවයකි. එයද ලොව විඳිනා ලෞකික සුව සේ නොවේ. රහතන් වහන්සේලා, නිවී සැනහී වදාරණ උතුම් භූමියක්‌ වැන්න. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයක්‌ද වේ. එමඟ යන්නාහු ඒකාන්තයෙන්ම සසර දිනති. සසරෙහි නොඇලී නොගැලී විමුක්‌ති මාර්ගය පසක්‌ කර ගනිති. බුදුන් වහන්සේ දෙසටම නමාගත් නෙතින්ද යොමා ගත් සිතින්ද සිටි බිම්බිසාර රජු යළිත් බුදු පාමුළ වැඳ වැටී මහත් ගෞරවයෙන් මෙසේ කීවේය.

කාරුණික බුදුන් වහන්ස, මම මේ මගධයෙහි අගරජු ලෙස කිසිවකුට මගේ හිස නමා නැත්තෙමි. මගේ බලයට අභියෝග කළ හැකි කිසිවෙක්‌ද නොවෙති. එසඳ ඔබ වහන්සේ අබිනික්‌මන් කර ශ්‍රමණ වෙස්‌ ගෙන මගධ රාජ්‍යයට පැමිණ මුල්ම දිනයක මම මේ රාජ්‍යයෙහි ප්‍රබල ධුරයක්‌ද පිරිනැමීමට යෝජනා කළෙමි. එබඳු ධුරයක්‌ පිරිනැමූ කල්හි එය නොපිළිගන්නා ක්‍ෂත්‍රියෙක්‌ නැත. එහෙත් ඔබ වහන්සේ එය හැර ගිය අයුරු මට සිහිවේ. මම රාජ්‍ය පාලනයෙහි විශාරද වූවෙක්‌මි යන මානයෙන් මිඳුණෙමි. එහෙත් දැන් මට මගේ කුදු බව පසක්‌ වේ. සිත බැහැරට නොයවා තමන් කෙරෙහි යොමු කරවීමේ අගය මම දැන් වටහා ගතිමි. තෘෂ්ණාවෙන් වැසී ගිය දෑස දැන් සත්‍යය දෙසට යොමු වී ඇත.

බුදුහු උපේක්‍ෂාවෙන් සියල්ල අසා සිටියහ. රජුගේ දෙනෙත් දීප්තිමත්ව බැබළෙන අයුරු අගබිසව ද දුටුවාය. ඇයටද බුද්ධ වචන පිළිබඳ අප්‍රමාණ ගෞරවයක්‌ ඇති වූවාය. මෙය තමන්ගේ ජීවිතවලටද නව ඇරැඹුමක්‌ බව ඇයට වැටහිණි.

මෙසේ බිම්බිසාර රජුන් ප්‍රමුඛ පිරිස තෙරුවන් සරණ ගියහ. පසුව මහත් ගෞරවයෙන් බුදුන් අබියස නැඟී සිටි රජතුමා බුදුන් වහන්සේට තම මාළිගාවට දනට වඩින ලෙස ආරාධනාවක්‌ ද කළේය. බුදුහු එම ආරාධනාව ඉවසා වදාළහ.

පසුදින උදෑසන බුදුන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා බිම්බිසාර රජ මාළිගාවට පා ගමනින්ම වැඩම කළහ. රජු මඟ දෙපස සරසා තොරණ බැඳ උන්වහන්සේට සිය ඉමහත් ගෞරවය ප්‍රදානය කර තිබිණි. දහසක්‌ පමණ රහතන් වහන්සේලා වඩින මඟ අපූරු දසුනක්‌ විය. නුවරවාසීහු ද මඟ දෙපස පෙරහැරක්‌ සේ වූහ. කුල කාන්තාවෝ ද සඳලුතලවලට ගොස්‌ ඒ අසිරිමත් දසුන බලා සිටියහ. බුදුන් වඩිනා මඟට සුවඳ මල් ද අහසින් වැටිණි. ඇතැම් තැනක පහන් වැටිද තොරණ සේ නිමවා තිබිණි. උදෑසන හිරු එළිය ගලමින් තිබුණත් ඒ පහන් වැටිවල ආලෝකයද කැපී පෙනුණි. මාළිගාවට වැඩි බුදුන්ට මඟුල් ඇතුගෙන් මල් පූජාවක්‌ද කෙරුණි. ඇතා දණ නමා කුංචනාද කර සොඬ මුව තුළ රුවා ගෙන සිටි අයුරු දුටු සියල්ලෝම සාදුකාර දුන්හ.

බිම්බිසාර රජු විසින්ම බුදුන් වහන්සේගේ ශ්‍රීපතුල් දොවන ලදී. සෙසු රහතන් වහන්සේලා ද පා සෝදා මාළිගාවට වැඩම කර වීය. අනතුරුව දන් පිළිගැන්විණි. දැන් වළ¹ පුණ්‍යානුමෝදනාව ද කිරීමෙන් පසු බිම්බිසාර රජතුමා බුදුන්වහන්සේට මෙබඳු පූජාවක්‌ කිරීමට අවසර අයෑද සිටියේය. ඒ උයනක්‌ පූජා කිරීමටය.

"භාග්‍යවතුන් වහන්ස, මෙවක්‌ පටන් මම ඔබ වහන්සේ සමීපයේම, නුදුරුවම කල් ගෙවනු රිසි වෙමි. ඉදින් ඒ සඳහා මේ නුවරටම නුදුරු එහෙත් නිහඬ සන්සුන් භූමියක්‌ පිළිබඳ අදහසක්‌ මා තුළ පවතී. එහි උණ ගස්‌ මනාව වැඩී තිබෙන අතර රමණීය පරිසරයක්‌ද තිබේ. ශාන්තව සැලෙන උණ පදුරු සන්සුන් රිද්මයක්‌ සේ සිතට ද සුව දනවයි. එහි වැඩ සිටීම ඔබ වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතුවලටද රුකුලක්‌ සේ හඟිමි. මගේ ගෞරවය ද, ප්‍රණාමය ද පිරිනමා එය බුදුන් වහන්සේට කෙරෙන පූජාවක්‌ සේ ඉවසා වදාරනු මැනව.

බුදුහු ද ඒ සිතිවිල්ලට බාධා නොකළහ. බිම්බිසාර රජු ද මහත් ප්‍රසාදයට පත් විය. රජු එවේලේම සුනිල දිය පිර වූ රන් කෙණ්‌ඩියක්‌ රැගෙන තවත් රන් බදුනක්‌ බුදුන් වහන්සේ අබිමුඛයෙහිම තබා පැන් බිඳ බිඳ වත් කර එම පූජාව ද සපුරාලීය.

අනතුරුව බුදුහු පරිවාර තෙරුන් වහන්සේලා සමග ආපසු වැඩියහ.

ගාමිණි සුමනසේකර