සියලු යාදිනිද ඇමතුම්ද සිදුහත් ගෞතමයන්ගේ සවන් අසලට තරම්වත් ළං නොවීය. ඒ කාම සිතිවිලි ග්‍රාම්‍ය, ළාමක, නොමනා දෙයක්‌ බව සිදුහත්ට පසක්‌ වූයේ ඇසළ සැණකෙළි මැද රැය ගෙවද්දීය. එකල එහි සිටි ලියෝ මනරම් වූහයි සිතන්නට පවා සිදුහත් නොරිසිවිය. එදා ඔවුන්ට සිතුනේ ඒ නාටිකාංගනාවෝ සසර මැද අටවන ලද බිහිසුණු උගුලක්‌ සේය.

2011 දෙසැම්බර් 04 ඉරිදා - 24

විවාදයට පැමිණි සෝණදණ්‌ඩ බුදුන්ගේ අනුගාමිකයෙක්‌ වෙයි


ඡේතවනාරාම භූමියෙහි වළලා දමා තිබුණු ස්‌ත්‍රී මළ සිරුර පිළිබඳ පුවත සැවැත්නුවර පුරාම පැතිර ගොස්‌ තිබුණි. රාජ්‍ය ආරක්‍ෂක හමුදාවේ සෙබළුන් විසින් ගොඩ ගන්නා ලද සිරුර හඳුනා ගැනීම සඳහා සුසාන භූමියේ හෝරා කීපයක්‌ම තැන්පත් කර තිබුණි. එහෙත් සිරුර කාගේදැයි හඳුනා ගැනීමට කිසිවෙක්‌ ඉදිරිපත් නොවූහ. මේ අතර සුන්දරී නම් වූ පරිබ්‍රාජිකාවක්‌ දින කීපයක්‌ ජේතවනාරාමයට යන එන ආකාරය දුටු බවට සාක්‌ෂියක්‌ද ඉදිරිපත් විය. සාක්‌ෂිකරුවා නිඝණ්‌ඨ අනුගාමිකයෙක්‌ බවද හෙලිවිය. රාජපුරුෂයෝ ඔහු රැගෙන ගොස්‌ දිගින් දිගටම ප්‍රශ්න කළහ. රාජපුරුෂයන් විසින් විමසන ලදුව නිඝණ්‌ඨ අන්තේවාසිකයා මෙසේ කීවේය.

මං දවසක්‌ රාත්‍රියෙහි කිසියම් කාන්තාවක්‌ ෙ-තවනාරාමයට පසු පස වැටෙන් රිංගනව දැක්‌ක. අඳුරේ දුටු අය හඳුනාගන්නට සිතාගෙන මං සමීපයට ගියා. මං හොඳටම දැක්‌ක ඒ සුන්දරී පරිභ්‍රාජිකාව කියලා. මට හරි කුතුහලයක්‌ ඇය මොනවටද එහෙම ගියේ කියල මං සෝදිසියෙන්ම හිටිය. මෙන්න පාන්දර ජාමෙ ඇය ආපසු එතනින්ම පිට උනා. මං ඇහුව මේ කොහෙද ගියේ කියලා. ඒව පිටස්‌තරයන්ට වැඩක්‌ නෑ. සිදුහත් ගෞතමයන්ගෙයි අපේ වැඩනෙ කියල ඇය උජාරුවෙන් කිව්වා. ඔය විදිහට මා දැක්‌ක දවස්‌ ගණනක්‌ම යනව එනව. ඉතින් මට හිතුණා ජේතවනාරාම භූමියේම මළ සිරුරක්‌ වළ දමා තිබිලා ගොඩ ගත්ත කිව්වම ඒ කාන්තාවද කියලා.

එතැනට රැස්‌ව සිටි තවත් කීප දෙනෙක්‌ම ඒ කතාව පිළිගත හැකි බව කියා සිටියහ. එහෙත් බහුතරයක්‌ කියා සිටියේ ඒ තවත් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ බවය. රාජපුරුෂයෝද වැඩි පිරිසගේ අදහස පිළිගත්හ. සාක්‌ෂිකරුවා මෙන්ම ඔහු අනුමත කළ පිරිසද නිඝණ්‌ඨ අනුගාමිකයන් බව තහවුරු විය.

ඉක්‌බිති කොසොල් රජතුමා විසින් ඒ පුවත බුදුන් වහන්සේටද දක්‌වන ලදී. බුදුන් වහන්සේ වදාලේ මහරජ නිෂ්ඵල දේ පිළිබඳව කතා කිරීම පවා අඥන ක්‍රියාවක්‌ යනුවෙනි. බුදුහු නම් මෙබඳු මුග්ධ ක්‍රියාකාරකම්වල ස්‌වභාවය දනිති. ඒවායින් අකම්පිතව සිය ධර්ම චාරිකා කළ යුතු බවට භික්‍ෂු සංඝයාට නිබඳව උපදෙස්‌ දීමට ද බුදුන් වහන්සේ පියවර ගත්හ.

බුදුන් වහන්සේට ලැබෙන ජන ප්‍රසාදය ද කිත් පැසසුම්ද බොහෝ වීම නොඉවසූ පිරිස්‌ද එකල සිටියහ. නිඝණ්‌ඨයන් පරිබ්‍රාජකයන්, බ්‍රාහ්මණයන් මෙන්ම වෙනත් ආගමික නිකායන්ට අයත් වූවෝද හැකි තරම් බුදුන්ට නිගා කළහ. බුදු දහමේ ව්‍යාප්තිය සමඟ මේ බොහෝ දෙනෙකුගේ ආගමික ව්‍යාපාර සිඳී යමින් තිබුණි. මේ බොහෝ දෙනාගේ බඩ රැකුණේද ඒ මිථ්‍යා විශ්වාස වෙළෙ¹මෙන්ය. මේ අය කෙරෙහි පැහැදී සිටි පිරිස්‌වලින් ලැබුණු ප්‍රතිලාභ අඩුවීම නිසා ඒ ආගම් ප්‍රධානීහු බුදුන් වහන්සේ කෙරෙහි වෛරයකින්ද පසු වූහ. යාග, හෝම, තපස්‌ චර්යා යනාදිය පිළිබඳව ජනතාවගේ විශ්වාසයද ගිළිහී යමින් තිබුණි. බුදුන්ගේ දර්ශනය වඩාත් ප්‍රායෝගික මෙන්ම යථාර්ථවාදී බවද බොහෝ දෙනාගේ අදහස විය.

බුද්ධ භාෂිතය පුද්ගල අභිවර්ධනයට මෙන්ම සමාජ යහපතටද ඉවහල් වන්නක්‌ බව සාමාන්‍ය ජනතාවද පිළිගත්හ. බුදුමග සරල, චාම් දිවිපෙවෙතකට අනුබල දෙන්නක්‌ බවද ජනතාව ප්‍රත්‍යක්‌ෂව දත්හ. වෙනත් ආගම්වල නායකයන්ට මෙන්ම අනුගාමිකයන්ට වූයේ සුඛ විහරණ මැද ගෙවෙන ජීවිතයකි. ඔව්හු ප්‍රණීත ආහාර පානවලට ලොල් වූහ. සමහරු කාමභෝගී චර්යාවන්ටද හුරුව සිටියහ. තවත් කෙනෙක්‌ මාගමුන් සමඟ සබඳතාද පැවැත්වූහ. එහෙත් බුදු සසුන ඉතා නිර්මල මෙන්ම අව්‍යාජ එකකි. බුදු සසුනට ඇතුල්වූවෝද කාම භෝගී ජීවිත පිළිබඳව කලකිරී සිටියහ. රහත් බව ලද මහ තෙරවරු පරමාදර්ශ චරිත සේ සුදිලෙමින් වැඩ විසූහ. අනෙක්‌ භික්‌ෂූන් වහන්සේලාගේ ජීවිතද ඉතා පිවිතුරු විය. භික්‌ෂුවකගේ ධනය වූයේ තුන් සිවුර, පාත්‍රය, ඇතිරිල්ල හා බෙහෙත් ස්‌වල්පයකි. යම් භික්‌ෂුවකගේ පාත්‍රය පස්‌ පොළක්‌වත් කැඩී නැත්නම් උන්වහන්සේට අලුත් පාත්‍රයක්‌ නොලැබුණි. බෙහෙත් ද්‍රව්‍ය වුවද දින කීපයකට තරම් විය යුතුය. සිවුරුද වැඩිපුර තබා ගැනීම තහනම් විය.

මෙයට අමතරව භික්‌ෂූන් වහන්සේ වෙනුවෙන් විනය නීති මාලාවක්‌ද විය. ඒ සියල්ල ජනතාවගේ ප්‍රසාදයටද ලක්‌ව තිබුණි. බුදුන් වහන්සේ සිය පාලනය ගෙන ගියේ මෘදු හා ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතකටය. සංඝ සම්මුතිය යන්න පිළිබඳව උන්වහන්සේ නිරන්තරව විමසිලිමත් වූ සේක. සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප බඳු මහ තෙරවරුද බුද්ධ උපස්‌ථායක ආනන්ද හිමිද සංඝයාගේ පාලනයට දායක වූහ.

අන්‍ය ආගම් සමඟ සසදා බලන විට බුද්ධ ශ්‍රාවකයන්ගෙන් වැඩි දෙනෙක්‌ පිණ්‌ඩපාතයෙන් යෑපුණෝය. රජ, සිටු, මෙන්ම සමාජ ප්‍රභූන්ගෙන් දානය හිමි වුවද බුදුන් වහන්සේද පාත්‍රය රැගෙන ගෙපිළිවෙලින් පිණ්‌ඩපාතය කළ සේක. ධර්ම චාරිකා සඳහා පිටත්ව ගිය භික්‌ෂූන් වහන්සේලාගේද පිළිවෙත එයම විය. අනෙක්‌ ආගම්වල නායක කාරකාදීහු නිබඳව ධනීන්ගෙන්ද සිය අනුගාමිකයන්ගෙන්ද යෑපුණෝ වූහ. අවිහිංසාව සම්බන්ධයෙන් මහාවීර ප්‍රමුඛ නිඝණ්‌ඨයන්ට සෑහෙන කීර්තියක්‌ හිමිවිය. මහාවීර උග්‍ර අවිහිංසාවාදියෙක්‌ ලෙස ගෞරවයටද පාත්‍ර වී සිටියේය.

බුදුන් වහන්සේද පරම අවිහිංසාවාදී පිළිවෙතක්‌ අනුගමනය කළ සේක. ප්‍රාණඝාතය බරපතල අකුසලයක්‌ බව බුදුහු වදාළහ. මස්‌ මාංශ අනුභවය පිළිබඳව ඇතැම් අවිහිංසාවාදීන්ගෙන් භික්‍ෂුන්ට විවේචන එල්ල වුවද ඒ පිළිබඳව බුදුන් වහන්සේ පැහැදිලි කිරීමක්‌ කර තිබුණි. තමන් උදෙසා සතකු මරා තිබෙන විටක හෝ සතකු මරනු දැක තිබීම හෝ මස්‌ ලැබුණු ආකාරය පිළිබඳ සැක සහිත නම් හෝ එබඳු අවස්‌ථාවල මස්‌ මාංශ අනුභව නොකළ යුතු බව බුදු උපදේශය මෙන්ම නීතියද විය. රහමෙර හෙවත් මත් වතුර සඳහා නම් කිසිම බුරුලක්‌ නොලැබුණි. රහමෙර පානය ගිහි බෞද්ධයන්ටද තහනම් විය. කාමභෝගී ජීවිතවල කර වටක්‌ ගිලී සිටි සුකුමාර ධනීන්ටද කිසිවිටෙක තම අභිමතය පරිදි බෞද්ධ ප්‍රතිපදාව වෙනස්‌ කිරීමට ඉඩක්‌ නොලැබුණද අන්‍ය ආගම්වල එබඳු දේවල් සිදු වෙමින් තිබුණි.

තීර්ථකයන් මෙන් කුමන්ත්‍රණ දියත් නොකළත් බ්‍රාහ්මණයෝද බුදුන් වහන්සේට විරුද්ධව විවිධ ප්‍රචාර ගෙන ගියහ. උපනිෂද් හැදැරු බුද්ධිමත් බ්‍රාහ්මණයෝ ඇතැම් අවස්‌ථාවල බුදුන් වහන්සේ සමඟ වාද විවාදවලටද ඉදිරිපත් වූහ. ඇතැම් භික්‌ෂූන් වහන්සේලාට ඒ බ්‍රාහ්මණයන්ගේ වාද විවාදවලට පිළිතුරු දීමට අසීරු වූ අවස්‌ථාද විය.

ධර්ම චාරිකාවල යෙදෙන ඔබ වහන්සේලාට යම් කෙනෙක්‌ මගේ ධර්මය ගැන ප්‍රශංසා කළත්, එයට දොස්‌ නැගුවත් ඒ කිසිම දේකින් නොසැලී සිටීමයි වැදගත්ම දේ."

බුදුන් වහන්සේ නිතරම ඒ පිළිබඳව පරමාදර්ශයක්‌ බව භික්‌ෂුහුද දත්හ. බුදුන් වහන්සේගේ යුගය දෙසැටක්‌ මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් වියවුල්ව තිබුණු බව උන්වහන්සේ නිරන්තරවම පෙන්වා දුන්හ. තර්ක විතර්ක ජාලවල පැටලී සිටින විවිධ පිරිස්‌ පිළිබඳවද උන්වහන්සේ දැන සිටියහ. ආගම් හෝ දෘෂ්ටිවාද බොහෝ ප්‍රමාණයක්‌ මිනිසාගේ යහපතට නොව ඒ ආගම් න්‍යායාචාර්යවරුන්ගේ යහපතට බවද බුදුන් වහන්සේ නිර්භයව තහවුරු කළහ.

බුදුන් වහන්සේ සමඟ විවාදයට එළඹුණු බ්‍රාහ්මණයන් අතර අතිශයින්ම බුද්ධිමත් හා කීර්තිමත් බ්‍රාහ්මණයකු වූයේ සෝණදණ්‌ඩය. හේ බුද්ධියෙන් මෙන්ම ධනයෙන්ද පොහොසත් විය. සෝණදණ්‌ඩ බුදුන් වහන්සේ සමඟ විවාදයට යැම පිළිබඳවද සමහරු නො සතුට පල කළහ. ඔවුන්ගේ අදහස වූයේ ඔහු වැනි කීර්තිමත් බ්‍රාහ්මණයකු බුදුන් වහන්සේ අබිමුවට යැමෙන් බුදුන්ගේ කීර්තිය හා යසස වැඩෙන බවය. එහෙත් සත්‍යය නම් එය නොවීය. ඒ වන විටත් බ්‍රාහ්මණ සමාජය තුළ විවිධ දෙදරීම් තිබුණි. බුදුන් වහන්සේගේ දර්ශනය හා පිළිවෙත් බොහෝ දෙනෙකුගේ අවධානයට ද ලක්‌ව තිබුණි.

බ්‍රාහ්මණ සමාජයේ දැඩි පීඩනය නොඉවසූ කාන්තාවෝද බුදුන් දැකීමේ පිපාසයෙන් පසු වූහ. ස්‌ත්‍රිත්වය හා මාතෘත්වය පිළිබඳ බමුණු ආකල්ප වලින් පීඩනයට පත්ව තිබුණු කාන්තාවන්ට නිදහස පිළිබඳ උනන්දුවක්‌ද විය. මෙම සියලු කරුණු දත් බ්‍රාහ්මණ සමාජ හිණිපෙතෙහි බුදුන් වහන්සේ පිළිබඳ බියක්‌ විය. ඒ බඩ නිසා උපන් බියක්‌ ද විය. බුදුන් වහන්සේ යාග හෝම අනුමත නොකරන බුද්ධි මාර්ගයක්‌ සඳහා ජනතාවට උපදෙස්‌ දෙන අයුරු බ්‍රාහ්මණයෝ දැන සිටියහ. නිදහස්‌ චින්තනය ද පරමාදර්ශී ජීවන චර්යාවද බෞද්ධ පදනම බවට පත්ව තිබෙන වගද ඔව්හු දනිති. මේ නිසා උගත්, බුද්ධිමත් බ්‍රාහ්මණයෙක්‌ බුදුන් බැහැ දැකීමට යැම කිසිසේත් බ්‍රාහ්මණයන්ට සුබ පල නොදෙන බවද, ඔව්හු ඉඳුරා දත්හ.

සෝණදණ්‌ඩ බ්‍රාහ්මණයකු වුවද විචාරශීලී අයෙක්‌ විය. හේ එවක දඹදිව සිටි ප්‍රකට ශාස්‌තෲවරුන් සමඟ නොයෙක්‌ වර වාද විවාද කර තිබුණි. ඔවුන්ගේ විමුක්‌ති මාර්ග විචාරා තිබුණි. එහෙත් බුදුන් වහන්සේ මේ සියලු ශාස්‌තෲවරුන්ද විවිධ ආගමික නිකායන්ද අභිබවා දිලෙන සූර්ය රාජයෙක්‌ බව බ්‍රාහ්මණයෝ දත්හ. බුදුන්ගේ දේශනා විලාසය සරල මෙන්ම ගැඹුරුද වේ. යම් කරුණක්‌ අරභයා කරනු ලබන විග්‍රහය සාර ගර්භද විචිත්‍රද වේ. උන්වහන්සේ යහපත් ගුරුවරයාණන් කෙනෙක්‌ සේ ළංවෙයි. හෘදයාංගම මිතුරෙක්‌ සේ විශ්වාසනීය වෙයි. ලෝක විෂය අතැඹුලක්‌ සේ දත් එවන් ශාස්‌තෲවරයෙක්‌ එකල දඹදිවම නොවූ විරූය. "අපි රහතුන් වෙමුයි" මානයෙන් දැපුණු අයගේ හිස්‌ බව වඩාත් තහවුරු වූයේ බුදුන් වහන්සේගේ පහළ වීමත් සමඟය.

රජ, මැති, සිටු හා වෙනත් ප්‍රභූන්ගේ හිස්‌ බුදුපාමුළ නැමෙන අයුරු බ්‍රාහ්මණයෝ දනිති. පසේනදී කොසොල් රජුද උන්වහන්සේගේ නිත්‍ය ගිහි දායකයෙකි. වෙනත් ධනීහුද බුදුන් කෙරෙහි බැතිමත්ව සිටිති. එහෙත් ඒ කිසිවකින් බුදුන් වහන්සේ තබා කුඩා සාමනේරයන් වහන්සේ නමක්‌ වත් අමුතු නොවෙයි.

මේ නිසාම සෝණදණ්‌ඩ බුදුන් වහන්සේ කෙරෙහි ප්‍රසාද සිතක්‌ ඇති කර ගැනීමට බොහෝ අවකාශ තිබෙන බව බ්‍රාහ්මණයෝ දත්හ.

බුදුන් වහන්සේද සෝණදණ්‌ඩගේ පැමිණීම දිවසින් දැක ඒ පිළිබඳව සංඝයා වහන්සේටද පවසා තිබිණ.

"අද සවස සෝණදණ්‌ඩ නම් බුද්ධිමත් හුරුබුහුටි බ්‍රාහ්මණ තරුණයෙක්‌ මා සමඟ වාදයට එයි. හේ වේදයෙහි පාරප්‍රාප්ත සියුම් කල්පනා ඇති බ්‍රාහ්මණයෙකි. අප අතර විවිධ මාතෘකා පිළිබඳ විමසීම්ද, පැහැදිලි කිරීම්ද සිදු වෙයි. ඒවා බුද්ධිමත් හා හරවත්ද වෙයි. එනිසා අද සන්ධ්‍යාව විචිත්‍ර දහම් මණ්‌ඩපයක්‌ බවට පත්වනු ඇත.

සෝණදණ්‌ඩ බ්‍රාහ්මණයාද පන්සියයක්‌ පිරිවර සමඟ බුදුන් වහන්සේ බැහැ දැකීමට ගියේය.

බුදුහු සෝණදණ්‌ඩ ප්‍රමුඛ පිරිස කාරුණිකව පිළිගත්හ. ෙ-තවනාරාමය ජනී ජනයාගෙන් පිරී තිබුණත් ශාස්‌ත්‍රීය සාකච්ඡා සඳහා මනාව ගැලපෙන බව සෝණදණ්‌ඩටද හැඟිණි. ඔහු හාත්පස බලමින් අවට තේරුම් ගැනීමට උත්සාහ ගන්නා බව බුදුන් වහන්සේටද පෙනුණි.

හාත්පස වූයේ දැඩි නිහඬ බවකි. බුදුන් වහන්සේ ධර්මශාලාවේ සුපුරුදු අසුනෙහි සන්සුන්ව වැඩ සිටියහ. සෝණදණ්‌ඩ වරෙක උන්වහන්සේ දෙසද තවත් වරෙක රැස්‌ව සිටි සංඝයා වහන්සේලා ඇතුළු අනෙක්‌ පිරිස දෙසද බලයි. ඔවුන් තුළ වූ කැළඹීම බුදුහු දුටහ. උන්වහන්සේම පළමුව මෙසේ සභාව ඇමතූ සේක.

"මේ සෝණදණ්‌ඩ බ්‍රාහ්මණයා බොහොම බුද්ධිමත් විචාරශීලි තරුණයෙක්‌. අද මේ සභාවට ඇවිත් ඉන්නේ අපගේ විමුක්‌ති මාර්ගය ගැන විමසීමටයි. යාග හෝම වැනි ජනප්‍රිය මාර්ග අත්හැරීම පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමටයි."

බුදුන්ගේ ඒ වදන් සෝණදණ්‌ඩට ආශිර්වාදයක්‌ බඳු විය. සැබැවින්ම ඔහු සිටියේ කුමක්‌ ඇසිය යුතුදැයි නිශ්චය අදහසක්‌ නැතිවය. බුදුන් වහන්සේ අබියස තමන් ඉතා කුඩා කෙනෙකු යන සිතිවිල්ලද ඔහු තුළ විය.

අනතුරුව බුදුන් වහන්සේම ඔහුට මෙබඳු ප්‍රවේශයක්‌ සාදා දුන්හ.

සෝණ ඔබ බ්‍රාහ්මණයෙක්‌ වගේම එහි කීර්තිමත් අයෙක්‌. උපනිෂද් දහම පිළිබඳ කෙළ පැමිණි අයෙක්‌. මමද එසේ වන්නෙමි. එහෙත් ඒ පිළිබඳව ඔබගේ විග්‍රහය ඉදිරිපත් කරන්නෙහි නම් යහපත්ය.

ධර්ම ශාලාව තුළ ගලා ගියේ දැඩි නිහඬතාවකි. සෝණදණ්‌ඩ සිය කටහඬ අවදි කළේ සෙමින් හා සන්සුන්වය. ඔහුගේ ඒ විලාසය බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයටද ලක්‌ විය.

භාග්‍යවතුන් වහන්ස, මම උගත් බ්‍රාහ්මණයෙක්‌මි. මගේ විෂය පිළිබඳව මම සෑහීමකට පත්ව සිටිමි. ඔබ වහන්සේගේ විමුක්‌ති මාර්ගය හා අපගේ ප්‍රතිපත්ති අතර දැඩි වෙනස්‌කම් මම දකිමි. ශ්‍රමණයකු නැතහොත් භික්‌ෂුවක වීම දුෂ්කර බව ඔබ වහන්සේගේ දැක්‌මයි. මමද එබඳුම දැක්‌මක්‌ ඇත්තෙමි. වේදය දත් බ්‍රාහ්මණයකු වීමද ඉතා දුෂ්කර බව මම කියමි. යාග හෝම බඩ වඩන මගක්‌ බවට කෙරෙන විවේචනයට මම සම්පූර්ණයෙන් එකඟ නොවෙමි. දැන් මම පළමුවෙන්ම නියම බ්‍රාහ්මණයා කවරෙක්‌දැයි මෙසේ දක්‌වමි. බ්‍රාහ්මණයාට තිබෙන කීර්තියද ප්‍රශංසාවද ඉතා සාධාරණ වන කරුණු පහක්‌ මට පෙන්විය හැකිය.

බ්‍රාහ්මණ යන හැඳින්වීමට අයත් පුද්ගලයා මව් පිය යන උභය පාර්ශවයන්ගෙන් පරම්පරා හතක්‌ පිරිසිදුව එන අයෙකි. හේ වේදයෙහි පාරප්‍රාප්ත වේ. මන්ත්‍ර උච්චාරණයෙහි සමතෙකි. බ්‍රාහ්මණයා රුසිරු අයෙකි. ප්‍රසන්න විලාසයෙන්ද යුතු වේ. වර්ණයද සිරුරද මන බඳියි. එනිසාම හේ ජනප්‍රිය වන්නෙහිය. ඔහු සුරැකිය යුතු පිළිවෙත් ඇත. ප්‍රඥව, බුද්ධිය ඔහුගේ සුවිශේෂ කරුණු ලෙසද මම දක්‌වමි.

බ්‍රාහ්මණයා යනු බ්‍රහ්මයාගේ මුවින් උපන් පාරිශූද්ධ අයෙක්‌ වන්නේද මේ නිසාය. ඔහු සමාජයේ ගෞරවයට, පිළිගැනීමට පාත්‍රවන්නේ එනිසයි. ඔහු රජුටද උපදෙස්‌ දෙයි. මේ අනුව බ්‍රාහ්මණයා අසම සම වන්නේය.

සෝණදණ්‌ඩගේ දීර්ඝ විග්‍රහයට සවන් දුන් බුදුහු මෙබඳු පැනයක්‌ නැගූහ.

හොඳයි ඔබ සඳහන් කළ කරුණු අතරින් වඩාත්ම ප්‍රමුඛ හා වැදගත් කරුණ කුමක්‌ද?

වහන්ස ප්‍රඥාවද, උදාරත්වයද, සදාචාර ධර්මයද සියලු කරුණු අතර ප්‍රමුඛ බව මගේ අදහසයි.

මෙවේලෙහි සෝණදණ්‌ඩ සමඟ පැමිණි පිරිස නොසන්සුන් වූහ. සෝණදණ්‌ඩ කිසිදු විවාදයක්‌ නොකරම බුදුන්ට ජය ලබාදී ඇති බව කියන්නටද වූහ. එවිට බුදුහු සන්සුන්ව මෙසේ වදාළහ.

සන්සුන්ව සවන්දීම විවාදයකදී ඉතාම වැදගත්. ඔබගේ නායක සෝණදණ්‌ඩ ප්‍රකාශ කළ කරුණුවලට ඔබට අභියෝග කළ හැකියි. මා ඒ සඳහා ඉඩ දෙනවා. මගේ දර්ශනය කුලවාදයට එකඟ නෑ. එසේම බ්‍රාහ්මණයන්ට වඩා ක්‍ෂත්‍රියන් උසස්‌ බවට සම්මතයක්‌ද තිබෙනවා. එහෙත් මම ප්‍රභූ කුලයක්‌ ගැන නොවදාරමි. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර කුල හතරම සමාජ සම්මුතිය අනුව ඒ පිළිගැනීම හිමි කරගෙන තිබෙනවා. මගේ භික්‌ෂුව යන යෙදුම පොදු නාමයක්‌.

බුදුන් වහන්සේගේ තර්කයට එරෙහිව කිසිවෙක්‌ කිසිවක්‌ නොකීහ. සත්මුතු පරපුරක පාරිශුද්ධ ලේ පිළිබඳ කිසිවකුට සාක්‌ෂියක්‌ ඉදිරිපත් කිරීම අසීරු විය. යාග පූජාවලට වඩා අවිහිංසා මාර්ගය උසස්‌ බවද ඔවුන්ට පිළිගැනීමට සිදු විය. සදාචාර පිළිවෙත පුද්ගල ආධ්‍යාත්මය හා ප්‍රඥව සමඟ බැඳී තිබෙන්නක්‌ බවද ඔවුහු පසක්‌ කර ගත්හ.

සෝණදණ්‌ඩ තුෂ්ණීම්භූතව සිටින අයුරු දුටු බුදුන් වහන්සේ ධර්මය පිළිබඳව ඔහුට මෙසේ පැහැදිලි කළ සේක. ධර්මය යනු පහුරක්‌ සේ භාවිත කළ යුත්තක්‌ විනා අන්ධ භක්‌තියෙන් වන්දනා කළ යුතු දෙයක්‌ නොවන බවද උන්වහන්සේ පෙන්වා දුන් සේක. ගංගාවකින් එතෙර වන බුද්ධිමත් පුරුෂයෙක්‌ තමන්ට එගොඩට යැමට පිහිට වූ කොල්ලෑවක්‌ කර තබා ගත යුතුද? එය කළගුණ සැළකීමක්‌ද? නැත. කොල්ලෑව යනු එතෙරවීමට අනුග්‍රහ දැක්‌වූ මාර්ගය - උපකරණය විනා අන් දෙයක්‌ නොවේ. කොල්ලෑව භාවිත කරමින්, ගඟ දිය මැද සීරුවෙන් ගමන් කිරීම නිසා එතෙර වීමට හැකි විය. එනිසා එම ක්‍රියාව ප්‍රඥාව හා බැඳුණකි. මේ අනුව ධර්මය අවබෝධ කර ගනිමින් ජීවිතය ජය ගැනීමට හැක්‌කේ බුද්ධිමතාට පමණි. බුද්ධිය යනු භක්‌තියට වඩා ප්‍රබල සූක්‌ෂම දැක්‌මකි.

සෝණදණ්‌ඩ දැඩි ගෞරවයකින් බුදුන් වහන්සේට නමස්‌කාර කළේය. ඒ දුටු ඔහු සමඟ පැමිණි සියලු දෙනාමද දොහොත් මුදුන් තබා බුදුන් වහන්සේට නමස්‌කාර කළහ.

සෝණදණ්‌ඩ බුදුන් සමඟ වාදයෙන් පරාජය වී බෞද්ධ දර්ශනය පිළිගත් බව ඇසූ ඇතැම් බ්‍රාහ්මණයෝ මහත් සේ කම්පා වූහ. සෝණදණ්‌ඩ ප්‍රමුඛ බ්‍රාහ්මණයෝ බුදුන්ගෙන් ශිෂ්‍ය භාවයද ඉල්ලා සිටියහ.

ගාමිණී සුමනසේකර