සියලු යාදිනිද ඇමතුම්ද සිදුහත් ගෞතමයන්ගේ සවන් අසලට තරම්වත් ළං නොවීය. ඒ කාම සිතිවිලි ග්‍රාම්‍ය, ළාමක, නොමනා දෙයක්‌ බව සිදුහත්ට පසක්‌ වූයේ ඇසළ සැණකෙළි මැද රැය ගෙවද්දීය. එකල එහි සිටි ලියෝ මනරම් වූහයි සිතන්නට පවා සිදුහත් නොරිසිවිය. එදා ඔවුන්ට සිතුනේ ඒ නාටිකාංගනාවෝ සසර මැද අටවන ලද බිහිසුණු උගුලක්‌ සේය.

2012 පෙබරවාරි 05 ඉරිදා - 32

බුදු සිරිත ඇසුරෙන් රචිත නව ප්‍රබන්ධය - 32
බුදුහු ආයුසංස්‌කාරය හරිති
මිහිකත සැලෙයි. දෙව් ලොවම කැළඹෙයි




වැසි සමය පහව යමින් තිබිණි. ගඟ, ඇළ දොළ උතුරා විඩාපත් මහ පොළොව නිවමින් තිබිණි. අලුත් දලු වලින් හා මලින් බර වූ රැක්‌ පෙළ සිනාසෙයි. බුදුහු ද අලුයම පිබිඳ දැහැන් සුව විඳ සියලු කටයුතු නිමවා පිඬු සිඟා වැඩීමේ අරමුණින් ආනන්ද හිමියන් උදෙසා බලා සිටියහ. ඒ බේලුව නමැති ලිච්ඡවීන්ගේ රාජ්‍යයට අයත් ගමකි. එහි සිට විශාලා නුවරට ද කෙටි දුරකි. ඉක්‌බිති ආනන්ද හිමියන් ද සමඟ මඟට බැස ගෙපිළිවලින්ම පිඬු සිඟා වැඩි බුදුහු චාපාල චෛත්‍ය අසල නතර වී වැළ»හ. බුදුන් වහන්සේ උපේක්‍ෂාවෙන් සොබා අසිරි විඳිනු දුටු ආනන්ද හිමියන් තුළ සොම්නසක්‌ ද වැඩුණි. විහඟසර මුනි පුදට ගයන ගී මුසු මඳ පවන ආනන්ද හිමියන්ට ද සුවයකි. උන්වහන්සේගේ සිතට බුදු මහිමය සිහිපත් විය. මිහිපිට මෙවන් ආශ්චර්යන් දැක්‌වූ ධර්ම, ගුණ, නැණ, ප්‍රඥා, විශාරද ශ්‍රේෂ්ඨ මහා පුරුෂයකු නොවූ බව ද උන්වහන්සේට සිහිවිය. ආනන්ද හිමියන්ගේ කල්පනා ලොව බිදුණේ බුදුන්ගේ මේ උදන් වැකි දෙසවන් ගැටෙද්දීය.

"ආනන්දය, වේසාලිය රමණීයයි. උදේන චෛත්‍යය රමණීයයි. ගෝතමක චෛත්‍යය රමණීයයි. සන්තම්බ චෛත්‍යය රමණීයයි. බහුපුත්ත චෛත්‍ය රමණීයයි. සාරන්ද චෛත්‍ය රමණීයයි. චාපාල චෛත්‍ය රමණීයයි. තවද ආනන්දය යමෙකු විසින් ඡන්ද, චිත්ත, වීර්ය, විමංසා යන සතර සෘද්ධිපාද වඩන ලද්දේ ද මනාව පුරුදු පුහුණු කරන ලද්දේ ද හේ රිසි වන්නෙහි නම් මුළු ආයු කාලයම හෝ කල්පාවශේෂයක්‌ හෝ ජීවත් විය හැක්‌කේ ය. මම ඒ සියල්ල මනාව පූර්ණය කළෙමි."

ආනන්ද හිමියෝ ඒ සියල්ල අසා සිටි නමුදු එහි වාච්‍යාර්ථය විනා එහි ගැඹුරු යථාර්ථය නොදුටහ. බුදුහු කුමක්‌ නිසා මෙසේ වදාරත්දැයි නොදත්හ. අනතුරුව බුදුහු දෙවන වරට ද තෙවන වරටද වශයෙන් ඒ උදන් වැකි වදාළහ. එහෙත් ආනන්ද හිමියෝ ඒ කිසිවක්‌ ගැඹුරින් මෙනෙහි නොකළහ. සැබැවින් ම ඒ වේලෙහි ආනන්ද හිමියන් තුළ නිරවුල් මනසක්‌ නොවීය. බුදුන් වහන්සේගේ සුසුමක්‌ වුවද මනාව පසක්‌ කර ගන්නා ආනන්ද හිමියන්ගේ මේ තුෂ්ණිම්භූත ප්‍රතිචාරයට ප්‍රබල හේතුවක්‌ ද විය. මාරයා ආනන්ද හිමියන් වසඟයට ගෙන බුදුන් වහන්සේගේ වදන් පිළිබඳ ගැඹුරින් මෙනෙහි කිරීමට අවකාශ නොදුන් හෙයිනි. එහෙත් තමන් අතින් සිදු වූ ප්‍රමාදය ආනන්ද හිමියන්ට එවේලෙහි පසක්‌ වූයේද නැත.

ආනන්ද හිමියන්ගේ නිහඬ ව්‍රතය දත් මාරයා එවේලෙහිම බුදුන් අබියස විද්‍යමාන විය. මේ කිසිවක්‌ නොදත් ආනන්ද හිමියෝ ද බුදුන් වහන්සේට විවේක සුවය වටනේ යෑයි සිතමින් ම එතැනින් බැහැරව ගොස්‌ රුක්‌ සෙවනක හිඳගත්හ.

මාරයාගේ සිතැඟි අතැඹුලක්‌ සේ දත් බුදුහු ද, "මාරය, තොප කුමක්‌ හෙයින් මෙසේ යළිත් මා ලුහුබැඳ එන්නෙහිද? තොප මා වෙතට එන්නේ යහපත් අරමුණකින් නොවන බව ද මම ඉඳුරා දනිමි"යි සන්සුන්ව වදාළහ.

"භාග්‍යවතුනි, දැන් පිරිනිවන සඳහා කල් එළඹ තිබේ. මම ඒ සඳහා ආරාධනා කිරීමට පැමිණියෙමි."

මාරයා නොපැකිලව කියද්දී බුදුහු මෙසේ වදාළහ.

"මාරය, සියලු සත්ත්වයෝ මරණය කෙළවර කර ඇත්තාහ. මරණය නො ඉක්‌මවූවෝ නොවෙති. එහෙත් මමමේ සසර දුක නිමවන මඟට බට වෙලේ පටන් ජරා, මරණ සහිත මේ ජීවිතය ඉක්‌මවා යා හැකි මඟක්‌ සොයා ඒ උදෙසාම කැප වීමි. මම එහි සියලු ගති ඉඳුරා දතිමි. මම යම් දිනක ඒ දුකට කිරිය වෙත යොමු වූයෙම්ද, එතැන් සිට මේ දක්‌වාම තොප මගේ සෙවනැල්ල සේ ම වූවෙහිය. එහෙත් ඒ හැම තන්හිම තොප ලද ජයක්‌ නැත්තෙහිය. රූප, ශබ්ද,රස, ගන්ධ. ස්‌පර්ශ යනාදී පස්‌ කම්හි නොඇලෙන මම කිසි විටෙක ජීවිතයෙහි නොබැඳෙමි. පවිටු මරුන්ගේ සියලු මළපුඬු, රැහැන් සිඳ බිඳ දැමූ මා මාරපාශයෙන් බැඳ ගත නොහැකි බවද තොප දන්නෙහිය. මම තොප ලොල් වන පවට හරස්‌ වීමි. අපාය මාර්ගය වැසීමි. ප්‍රේත ලොවට යන මඟ ද හරස්‌ කළෙමි. තිරිසන් යෝනියට වැටීමේ අනතුර දුරු කළෙමි. අර්හත් මඟ සාදා සියලු ජනතාව ඒ වෙතට යොමු කළෙමි.

මාරයා ද මුවින් නොබැණ සියල්ල අසා සිටියේය. ඔවුන් සිත තුළ ද අතීත ජවනිකා එකින් එක නැඟෙන්ට විය. බෝසතුන් දුෂ්කර ක්‍රියා කළ අවදියෙහි මාරායා කල් යල් බලමින් ඒ සමීපයෙහි සිටි අයුරු ඔහුට සිහිවිය. නේරංජරා නදිය අසබඩ බෝසතුන්ගේ වීර්ය සිඳලීමමට ගත් තැත ඔහුට මතක්‌ විය. දෙව් බඹුන් සහිත ලෝකයෙහි කිසිම කෙනෙකුට පරාජය කළ නොහැකි වු මාර හමුදාව අධිෂ්ඨානයෙන් ද ප්‍රඥාවෙන් ද පහර දී එලවූ අයුරු සිහි වු මාරයාට ලැඡ්ජාවක්‌ ද දැනුණි. බුදුහු මැටි බඳුනකට ගල්කුළකින් පහර දෙන්නා මෙන් මගේ සියලු බල බිඳ දැමුහ. එසේ වුවද යළි යළිත් කන්නලව් කර මගේ ඉල්ලීම ඉදිරිපත් කළ යුතු යෑයි මාරයා සිතීය. ඒ සමගම මාරයා ඇමතූ බුදුහු මෙසේ වදාළහ.

මාරය මගේ භික්‍ෂු ශ්‍රාවකයෝ ව්‍යක්‌තව, විනීතව, විශාරදව බහුශ්‍රැතව, ධර්මධරව, ධර්මානුකූලව, ධර්ම ප්‍රතිපත්aතිව පවත්නාහු නොවෙත්ද? ඔව්හු යම්තාක්‌ ගුරුවරයා නො ඉගෙන සිටිත්ද. ඒ ආකාරයට දේශනා නොකරත්ද. නොපවතිත්ද. ඒ සදහම් එලෙස සාදා විග්‍රහ කර නොදක්‌වත්ද නොහෙළි කරත්ද ඒ තාක්‌ මම පිරිනිවන් නොපාන්නෙමි. මාගේ ඒ අදිටන බිඳලිය හැකි කිසිවෙක්‌ ද නොවෙති.

මාරයා ද ඉතා සන්සුන්ව දැන් එබඳු භික්‍ෂු ශ්‍රාවක පිරිස්‌ බිහිව සිටිති යි කීවේය. දැන් භාග්‍යවතුන් ගේ ආචාර්යවාදය මනාව ප්‍රගුණ කළෝ සිටිති. ඒවා ඔදවත්ව, තෙදවත්ව පණවත්ව දෙසන්නෝ ද වෙති. එහෙයින් පිරිනිවන සඳහා බාධාවක්‌ ද නැත්තේය. එසේ කරනු මැනවැයි අයෑද සිටියේය.

එවේලේ බුදුහු ද ශාසන බ්‍රහ්මචර්යාව සමෘද්ධ වූ බව සිහි කළහ. බොහෝ ජනයාට ධර්මාවබෝධය ලබා දුන් අයුරු ද සිsහිකළහ. තවද තමන් වහන්සේගේ පිරිනිවීම තුළින් ද සියලු සංස්‌කාර ධර්මයන්ගේ ජරාව, අනියත බව පසක්‌ කළ හැකිවන බව ද බුදුහු දුටහ. අනතුරුව බුදුහු එදින සිට තුන් මසක ඇවෑමෙන් තමන් වහන්සේ පිරිනිවන් පාන බව තහවුරු කළහ.

බුදුන් වහන්සේ ආයු සංස්‌කාර්ය හළ සැණකින්ම මිහිකත සැලී ගුගුරා ගියේය. දෙව් ලොව ද නොයෙක්‌ කැළඹිලි ඇතිවිය. දිව බෙර ඉබේම පැලී ගියේය. දිවමල් මිළිණ වී ගියේය. දෙවඟනන්ගේ ගී නද ගොළු විය. එක්‌වරම මහා අන්ධකාරයක්‌ නැගී ඔවුන් සිත් තුළ බියක්‌ ද දැනවීය. සක්‌දෙවිඳු හා මහබඹු ද මේ කුමන විපර්යාසයක්‌දැයි බලන්නාහු බුදුන් වහන්සේ ආයු සංස්‌කාරය හළ වග දැන ගත්හ. එපුවත් ඇසූ දෙව්ලොව ද බඹලොව ද එකම දුක්‌ අඳුරක ගිලී ගියේය.

මේ සියලු විපර්යාස ආනන්ද හිමියෝ නොදත් නමුදු මහපොළොව කම්පා වූ අයුරුත්, මේඝ ගර්ජනා සිදු වූ අයුරුත් දුටහ. උන්වහන්සේ වහා නැගිට බුදුන් වහන්සේ වෙත පැමිණ ඒ සියලු තතු සැලකර සිටියේය. බුදුහු ස්‌වල්ප වේලාවක්‌ ආනන්ද හිමියන්ගේ මුහුණ දෙස බලා සිටියහ. තව නිමේෂයකින් ඔවුන් තුළ පැන නගින චිත්ත පීඩාවද බුදුහු දුටහ. එහෙත් කළ හැකි කිසිවක්‌ නොවන බව ද උන්වහන්සේට ප්‍රත්‍යක්‍ෂය.

ආනන්දය, භූමි චලනය යනු නිකරුණේ සිදුවන්නක්‌ නොවේ. එයට හේතු අටක්‌ වේ. ආනන්දය මේ මහා පොළොව දිය ආධාර කර පිහිටියේය. යම් විටෙක මහා වා කඳක්‌ නැඟී ඒ දිය සොලවන්නේද පෙළොව ද සෙළවෙයි. ඒ ස්‌වභාවයකි. එසේම සෘද්ධි බල සහිත ශ්‍රමණයෙක්‌, දෙවියෙක්‌ හෝ එබඳු ආනුභාවයකින් පූර්ණ වූ අයෙක්‌ පෘථිව සංඥාව වඩත්ද, එවිට මේ පොළොව ප්‍රකම්පිත වේ. මේ හැරුණු කල බුදුවරයකු මව්කුස පිළිසිඳීම, මෙලොවට බිහිවීම, බුදුබව ලැබීම, දම්සක්‌ පැවැත්වීම, ආයු සංස්‌කාරය අතහැරීම, නිර්වාණයට පැමිණීම යන අවස්‌ථාවලදීත් මෙම භූමිකම්පාව හෙවත් භූ චලනය සිදුවන්නේය. දැන් මොහොතකට පෙර ඔබගේ භාග්‍යවතුන් වහන්සේද එපරිද්දෙන් ආයු සංස්‌කාරය හැර තව තුන්මසක ඇවෑමෙන් පිරිනිවන් පෑමට සනිටුහන් කළෙන් ඒ භූමිකම්පාව සිදුවිය.

බුදුන් වහන්සේගේ විග්‍රහය ඇසූ ආනන්ද හිමියෝ මහත් සේ පශ්චාත්තාපයට පත්වූහ. "තව තුන්මසක ඇවෑමෙන් බුදුන් වහන්සේ පිරිනිවන් පානවා" යෑයි තමාටම කියාගත් උන්වහන්සේ වහා පියවි සිහියට පත්ව, බුදු පාමුළ වැඳ වැටි මෙසේ ආයාචනා කරන්නට ද විය.

"අනේ භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේට ප්‍රාණප්‍රියවූ මා ඇතුළු භික්‍ෂු සංඝයා කොපමණ සිටිත්ද? ඒ කිසිවෙක්‌ ඔබ වහන්සේට අබැටක්‌ තරම් වෙනසක්‌ නොකරති. මම ද මගේ ජීවිතයට වඩා ආදරයෙන්, භක්‌තියෙන්, ගෞරවයෙන් රක්‍ෂා කරන්නෙම් ඔබවහන්සේය. එවන් ඔබවහන්සේ කුමක්‌ හෙයින් මෙලෙස පිරිනිවන් පාන සේක්‌ද? ඉදින් මෙයට පෙර වදාළ අයුරින්ම ලෝසතුන්ගේ වැඩ පිණිස, අපගේ සසුනේ අභිවාද්ධිය පිණිස තවත් කල්පයක්‌ වැඩ සිටිනු මැනවි. මම මේ sසිරිපා පියුම් මගේ නෙත් කඳුළින් දොවා ඒ ආයාචනය වරක්‌ දෙවරක්‌ නොව අප්‍රමාණවරක්‌ කරන්නෙමි· සියලු සත්ත්වයන් වෙනුවෙන් කරන්නෙමි.

බුදුහු ආනන්ද හිමියන් ළසොවින් සිටින අයුරු ඉඳුරා දත්හ. ඔවුන්ගේ සිත සුවපත් කර සෙමින් ඔහුට කරුණු පහදා දිය යුතු යෑයි ද සනිටුහන් කර මෙසේ වදළහ.

ආනන්දය, ඔබ හා මා අතර වූ සංසාර බැඳීම ඉතා දීර්ඝය. ඒ සසර මඟ යසෝදරාවන් හැරුණු විට මගේ විමුක්‌ති මාවතට නිබද දිරි දුන් අය අතර ඔබ ද ප්‍රමුඛ වන්නේය. එසේම මගේ අග්‍ර උපස්‌ථායක ලෙස ඔබ විසින් මට දක්‌වන ලද අනුග්‍රහය හා අනුබලය අප්‍රමාණය. මට එරෙහිව නැගුණු අවලාද, සතුරු කුමන්ත්‍රණ. ඔබගේ සංවේගයට හේතු විය. ඔබ මා මරන්ට ආ නාලාගිරි ඇතුන් අබියසට පැනීමට තරම් මා කෙරෙහි භක්‌තියෙන් ද, ගෞරවයෙන් ද යුතු වූවෙහිය. මා යන, එන, සිටින, වළඳන සියලු තන්හි ඔබ මනාව ද අවබෝධයෙන් ද සිටියෙහිය. ඔබ මට නොකළ මෙහෙවර කුමක්‌ද? මට කිසි දිනෙක දැඩි බවක්‌ රුදු සිතක්‌ නොදැක්‌වූවෙහිය. ඒ සියලු රුව ගුණ තේජස්‌ ඔබ තුළ විය. එය ඔබගේ අනන්ත සංසාර පැතුම වූ බව සැබෑ ය. ඔබ වැනි උතුම් සහායකයකුගේ ස්‌වභාවය, දිගු සංසාර අනුගාමිකත්වය කෙබඳු දැයි දන්නේ මා පමණි. එසේ වුවද දැන් ඔබගේ අයෑදුමට පමා වූවා වැඩිය. මවිසින් දෙන ලද ප්‍රතිඥාවෙහි යළි කිසිදු වෙනසක්‌ ද නොවන්නේමය. ඉදින් ඔබ මා කෙරෙහි දක්‌වන භක්‌ති ප්‍රේමයෙහි නාමයෙන් ම මගේ සදහම් සරණම ලැබ ඔබගේ ජීවිතය ද නිවා ගැනීමට වීර්ය වඩනු මැනවි. ඔබට ආලෝකය මෙතැන් සිට ඔබමය. ධර්මය තරම් පිහිටක්‌ කිසිවිටෙක නැත. මාගේ පරිනිර්වාණයෙන් පසු ඒ දහම් එළියෙන් තවත් කලක්‌ ලොව බැබලෙන්නේය. ආනන්දය ප්‍රියයන්ගේ වියෝගය දුකය. නොපැතූ දේ සිදුවීම ද දුකය. තවද කල්පයක්‌ ජීවත් විය හැකි බව මා පුන පුනා කියද්දීත් ඔබගේ සිතට ඒ කාරණය කා නොවැදුණු වග ද මම දනිමි. එය ඔබගේ වරද නොව පුහුදුන් බවෙහි වරදමය. දැන් පටන් එළඹ සිටි සිහියෙන් බුද්ධියෙන් ක්‍රියා කළ යුතුය.

ආනන්ද හිමියන්ට කෙසේවත් සිත සනසා ගත නොහැකි විය. උන්වහන්සේට හැඟුණේ තමත් අතින් යළි කිසි දිනක නිවැරැදිs කළ නොහැකි වරදක්‌ සිදුව ඇති බවය. තමන් විසින් ජීවිතයට වඩා ස්‌නේහයෙන් භක්‌තියෙන් රක්‍ෂා කරන ලද බුදුන් වහන්සේ වරක්‌ දෙවරක්‌ නොව තෙවරක්‌ම කල්පයක්‌ වැඩ සිටිය හැකි වග වදාරද්දීත් එහි අරුත් පසක්‌ කරගන්ට තරම් පියවි සිහියක්‌ නොවූ අයුරු සිතන විට උන්වහන්සේ තුළ තවත් සෝකය දැඩි විය.හිස ඔසවා බුදුන්ගේ මුහුණ දෙස බැලීමට තරම් ශක්‌තියක්‌ ආනන්ද හිමියන්ට නොවීය. ආනන්ද හිමියන්ට හැඟුණේ පවිටු මාරයා තමන්ට සරදම් කරන්නාක්‌ මෙනි. තම මුළාව දෙව් බඹුන් සහිතමුළු ලොව දන්නා බව ද එවේලේ උන්වහන්සේට සිහිවිය.

බුදුහු යළිත් කරුණාවෙන් ආනන්ද හිමියන් ඇමතූහ. පියෙකුට තම පුතුට දක්‌වන ආදරය මෙන්ම දයාර්ද්‍රව ආනන්ද හිමියන් ලෙද බලා සිටි සේක.

ආනන්දය තැවීමෙන් දුක හෝ වෙහෙස තුනී නොවන්නේය. යම් සිත් තැවුලකදී එදෙස බැලිය යුත්තේ සිහි බුද්ධියෙනි. මම මේ සසර පුරා අප්‍රමාණ දේවල් අත්හැර දැමුවෙමි. මගේ සිරුරෙහි මගේම ඉන්ද්‍රියයක්‌ වුවද මට නොවටනා විය. මගේ ජය එයයි. ඔබ ද ඒ දැඩි සිතින්a නැගී සිටිය යුතුය. මම මගේ ධර්මයෙහි කිසිදුÊගුරු මුෂ්ටියක්‌ නොතබා දුන්නෙමි. බුදුවරයකුගේ විලාසය වෙනස්‌ ය. ඇලීම්, ගැලීම්, බැඳීම් කිසිවක්‌ නැත. මම භික්‍ෂු සංඝයා පරිහරණය කරන්නෙමි. යනුවෙන් හෝ ඔවුහු මා වෙනුවෙන් සිටින්නෝය යන හැඟීම් මාත්‍රයකුද මට නැත.

ආනන්දය තවද මම දැන් අසුවැනි වියට එළඹ සිටින්නෙමි. මගේ සිරුර දිරා ගොසින්ය. මම මහලු වියට පත්ව සිටිමි. දැන් මා දිරා ගිය කරත්තයක්‌ සේ නොවන්නෙහිද? මාගේ අත් පා දුබල වෙමින් තිබේ. යම් සේ දැහැන් බලයකින් මවිසින්ම ඒ සියලු දුබල තැන්, අවසඟව ගිය තැන් වසා වත්තම් කරගෙන සිටින ලද්දේ නමුදු එය ස්‌වභාවය නොවන බව මම දනිමි. මගේ කොඳු ඇට පෙළට දැනුණු පීඩාව ඔබ දන්නෙහිය. මම කිසිවකට පිට දී හිඳ ගතිමි. මට මාරාන්තික රෝග ද විය. මම ඒවා මැඬලීමි. වෙනත් හේතුවක්‌ නිසා නොව භික්‍ෂු සංඝයාටත් ලෝකයටත් මගේ වගකීම ඉටු කිරීමටය. විඩාපත් සිරුර, ක්‌ලාන්ත වන බව මට දැනුණි. ඔබමමගේ දෙපට සිවුර හතරට නමා බිම එළා මට සහනය සැලසුවෙහිය. දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණ ද අසූවක්‌ අනූව්‍යංජණ ද සහිත නෙතඳුනක්‌ සේ බුදුහු වඩිතියි දුටුවෝ කොතරම්ද? එහෙත් ඒ සියල්ල අනිත්‍ය ධර්මතාවට යටත් බව ඔබට ද පසක්‌ විය යුත්තේය. මවිසින් වෙසෙසි නුවණින් දැන දෙසන ලද ධර්මය ඔබට පිහිටට ඇත්තේය. ජාති සංසාරය හැර දුක නැසීමට වීරිය වැඩිය යුත්තේය.

බුදුන් වහන්සේගේ වදන් ආනන්ද හිමියන්ගේ සිත් පතුලට කි¹ බැස ගිය ද සැණකින් උන්වහන්සේට හද දැඩි අන්ධකාරයකින් වැසී යන්නාක්‌ මෙන් දැනෙන්නට ද විය. එහෙත් සිතට දිරි ගත් ආනන්ද හිමියෝ දැසට නැගෙන කඳුළු පිටතට ගලා යැමට අවකාශ නොදුන්හ.

ඉනික්‌බිති බුදුහු ආනන්ද හිමියන් සමගම යළි වඩිනු රිසි වූහ. එසේ වඩිනා අතර ආනන්ද හිමියන් ඇමතූ බුදුහු මෙසේ කීහ

"ආනන්දය....... මේ තථාගතයන්ගේ අවසන් විශාලා නුවර දැකීමය. දැන් අපි භාණ්‌ඩග්‍රාමය වෙත යා යුතු වෙමු."

ආනන්ද හිමියන් තුළ නම් වූයේ දැඩි සෝකයකි. උන්වහන්සේගේ සිත පුරා වැඩුණේ තමන් විසින් වරදක්‌ කරන ලද්දේය යන සිතිවිල්ලමය. භාණ්‌ඩ ග්‍රාමයට වැඩි බුදුහු එහිදී භික්‍ෂු සංඝයා රැස්‌ කරවා "සිල් නම් මෙසේය. සමාධි යනු මෙසේය. ප්‍රඥාව යනු මෙසේය. සීලයෙන් පරිභාවිත සමාධිය මහත්පල මහානිසංස දෙනු ඇත." යනාදී වශයෙන් ධර්ම දේශනයක්‌ ද කළහ. තවද තථාගතයන් වහන්සේ විසින් සියලු පදරුත් අතැඹුලක්‌ සේ වටහා ගන්නා ලද බවත් දෙව්, බඹ, මිනිස්‌ යනාදී සියලු ලෝකයන්හි ඒ ඒ අය විසින් මතු කරන ලද සියලු ප්‍රශ්න විස» බව ද වදාළහ. එසේම බුදුවරයකුගේ ධර්ම ඥානයට අභියෝගයක්‌ නොමැති බව ද පෙන්වා දුන්හ. 

"මහණෙනි, මට අසවල් ධර්මය අවබෝධ කර නැතැයි කිසිවකුට කිව නොහැක. මගේ ධර්මය කිසිවකුගේ අවැඩ සඳහා හේතු විය හැකි යෑයි ද කිව නොහැක. එනිසාම මේ ධර්මය මනාව පිළිපදින්න. අනුගමනය කරන්න. එය නිවනටම හේතු වනු ඇත.

බුදුන් වහන්සේ තමන් උදෙසා දහම් දෙසීමේ අවසන් අදියරට එළඹ සිටින බව සිහිකළ පුහුදුන් භික්‍ෂුන් තුළ නම් දැඩි සෝකයක්‌ ඇතිවිය. ඇතැම් භික්‍ෂුන් වහන්සේ නමක්‌ බුදුන්ගේ ලෝකවිදු ගුණය ද සිහි කළේය. එසේ භික්‍ෂූන්ට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කළ බුදුහු එදින රාත්‍රිය ගෙවීම සඳහා නුදුරුව පිහිටි අඹ උයනකට වැඩියහ. ඒ අඹ උයන නිමල දිය දහරාවන් පිරි පොකුණු පෙළකින් ද තන්හි තන්හි සුසැදි ගිමන් හල්වලින් ද සෝබාමත් විය. හාත්පස මනාව වට මල් ගොමුය. ඉන් ඔබ අඹරුක්‌ පේළිද වෙනත් ඖෂධ රුක්‌ ද විය. ඒ අඹ උයන අයත් වූයේ ගම්පතියකු සේ දනන් අතර පසිඳු චුන්ද නම් ලෝකුරුවකුටය.

බුදුන් වහන්සේ තම අඹ වනයෙහි වැඩ සිටින බව ඇසූ චුන්ද මහත් සේ ප්‍රබෝධයට පත්ව එවේලේම ගොස්‌ උන්වහන්සේට තම ප්‍රණාමය පළකළ යුතු යෑයි සිතා පිටත්ව ගියේය. චුqන්ද තමන් වහන්සේ වෙත එන බව ද බුදුහු දැන සිටියහ. එමතු නොව බුදුන් වහන්සේ උදෙසා පූජා කෙරෙන අවසන් දානය චුන්ද ලෝකුරුචන්ගේ පෙර පැතුමක්‌ පරිදිම සිදුවන්නක්‌ බව ද බුදුහු දුටහ.

චුන්ද මහත් ගෞරවයෙන් බුදු පාමුළ වැඳ වැටුණි. ආනන්ද හිමියෝ ද පසෙක වූහ. බුදුහු චුන්දයන්ට මෙසේ වදාළහ.

"චුන්දය මම ලෝසතුන්ගේ යහපත උදෙසාම, ඔවුන්ගේ සංසාර ගමන නැවැත්වීම උදෙසාම කැප වූ ශාස්‌තෲවරයෙක්‌මි. මම පළමු ද විශුද්ධිය ලදිමි. දැන් ඒ විශුද්ධි මග තහවුරුව, නිවැරැදිව දේශනා කිරීම සඳහා උතුම් සඟ පරපුරක්‌ ද සකසා ඇත්තෙමි. සියලු පව් වලින් වැළකී සිටීම ද තුන් සිත පිරිසිදුව සිටීම ද බුදුවරයන්ගේ අනුශාසනාවය. මේ දෙවියන් සහිත ලොව බුදුවරයකු පහළව, අවිදු අඳුර දුරලීමට ඥාන මාර්ගය සැකසූ බව ප්‍රකටව තිබේ. එහිදී මට ද අප්‍රමාණ බාධා සිදුවිය. යුද බිමට වන් ඇතකු දස දෙසින් එන හී සර ඉවරසන්නාක්‌ මෙන් මමද අසංවර වාග් ප්‍රහාර පරුෂ වචන ඉවසීමි. ඒ කිසිවකින් අකම්පිතව සිටීම බුදු මහිමයයි. මේ දඹදිව රජ,මැති, වෙළෙඳ සිටු යනාදී සියලු ප්‍රභූහු මට අනුග්‍රහ දැක්‌වූහ. ඒවා මගේ යහපතට නොව සියලු දනන්ගේ යහපතට ම හේතු වනු ඇත. ඔබ ද පසිඳුරන්ට නොවසඟව තෘෂ්ණව දුරලීමට බුද්ධියෙන් ක්‍රියා කළ යුතුය. සදහම් රසයට මෙළොව සියලු රස පසු බසියි. එහි රස දෙව් බඹහු ද ඉඳුරා දනිති. මගේ විලාසය, බුද්ධ මහිමය නොදත් කෙනෙක්‌ භවත් ගෞතමයන් වහන්සේ අනුන් වසඟයට ගන්නා මායා බල සහිත යයි කීහ. එය අනිසි මුසාවකි. මේ ධර්¨මය සුපරීක්‍ෂා කළ හැකිය. එහි තාර්කික බව ඉඳුරා දත හැකිය. ඇසු පමණින් හෝ තර්කයට එකඟ වූ පමණින් හෝ තමන්ගේ දෘෂ්ටිය සමඟ සැසඳුවන පමණින් හෝ කිසිවක්‌ නොගත යුතු බව මගේ අනුශාසනයයි.