සියලු යාදිනිද ඇමතුම්ද සිදුහත් ගෞතමයන්ගේ සවන් අසලට තරම්වත් ළං නොවීය. ඒ කාම සිතිවිලි ග්‍රාම්‍ය, ළාමක, නොමනා දෙයක්‌ බව සිදුහත්ට පසක්‌ වූයේ ඇසළ සැණකෙළි මැද රැය ගෙවද්දීය. එකල එහි සිටි ලියෝ මනරම් වූහයි සිතන්නට පවා සිදුහත් නොරිසිවිය. එදා ඔවුන්ට සිතුනේ ඒ නාටිකාංගනාවෝ සසර මැද අටවන ලද බිහිසුණු උගුලක්‌ සේය.

2011 අගෝස්‌තු 07 ඉරිදා 7

නාටිකාවන්ගේ විප්‍රකාර මැද යස මාලිගය හැර යයි!



ඇසල සඳ බැස ගිය අහස්‌ කුස පාලුව මකන්නට මෙන් තරු පොකුරු එල්ලා තිබුණි. ඇදෙන සුළං වැල් සමඟ සිහින් සීතලක්‌ මුසු විය. ග්‍රීෂ්ම කාලයේ අවසාන දින කීපයෙන් පසු එළඹෙන වැසි සමය සොබා දම් දිනිතියට නිසැක අස්‌වැසිල්ලකි. වැහි බිඳුවක සීතල අපේක්‍ෂාවන් තුරු සුසුම් ලන්නාක්‌ මෙනි. සිදුහත් ගෞතමයන්ටද සිදු වෙමින් තිබෙන කාලගුණ විපර්යාසය මනාව දැනෙන්නට විය. වර්ෂාවේ ශාන්තිය මිහිකතට ආශිර්වාදයක්‌ බව උන්වහන්සේ සිහි කළේය. ලියගොමුමලින් පුබුදු කරමින් තුරු පෙළ මවන නෙත්කලු දසුන් මිහිමත සිටින සියලු සතුන්ට නව ජීවයක්‌ කවන්නාක්‌ මෙනි. එවේලෙහි බුදුන් වහන්සේගේ සිත තුළ මෙවන් සිතිවිලි ධාරාවක්‌ නැගුණි.

"දැන් එළඹෙන්නේ වැසි සමයයි. හාත්පස වන බිම්ද තණ බිම්ද දියවැල්ද එයින් මනාව ප්‍රමුදිත වන්නේය. වැසි වැටෙන බිම ලිහිල්ව මෘදුව පය නගනු නොහැකි තරමට දියාරු වන්නේය. දිය රේඛා වැසි දියෙන් පුළුල්ව ගලා යයි ඇතැම් විටෙක ගඟ දිය උතුරා යන්නටද පටන් ගැනෙයි. මේ සියලු විපර්යාස මැද මිගදාය තුළටම සීමා වූ සති කීපයක්‌ එළඹෙයි. එසේ වුවද බහුජන හිත පිණිස බහුජන සුව පිණිස කෙරෙන සඳහම් චාරිකාවේ සියලු කටයුතු මෙහි සිට සැලසුම් කළ හැකිය. වැසි නිම වන තෙක්‌ මෙහිම වැඩ වැසීම වඩාත් යෝග්‍ය වේ."

බුදුන් වහන්සේ වැසි සමය මිගදායෙහි විසීමට ගත් තීරණය පස්‌වග තවුසෝ නොදත්හ. ඔවුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතමයා මෙන්ම සියුම් බුද්ධියෙන්ද පිරිපුන් කොණ්‌ඩඤaඤ නම් තවුසා සිතන්නේ බුදුන් වහන්සේට වැසි සමය නිම වනතෙක්‌ මිගදායෙහිම විසීමට ආරාධනා කළ යුතු බවය. හේ සන්සුන්ව පැමිණ සිදුහත් ගෞතමයන්ට නමස්‌කාර කළේය.

උන්වහන්සේ කොණ්‌ඩඤaඤගේ සිත ඉඳුරා දන්නේය. එසේම එහිදී ඔවුන්ටද වෙනත් අයටද අත්වන ප්‍රතිලාභද බුදු ඇසින් දැක තුෂ්ණීම්භූතව වැඩ සිටියේය. උන්වහන්සේ තමන්ට සවන් දීමට රිසි බව දත් කොණ්‌ඩඤaඤ තවුසා යළිත් බුදුන්ට නමස්‌කාර කර මෙසේ පැවසීය.

අවසරයි භාග්‍යවතුන් වහන්ස. තව දින කීපයකට පසු වස්‌සාන සමය එළඹෙයි. ඔබ වහන්සේද පෙර සුපුරුදු මේ අසපුවෙහි සිදුවන සියලු වෙනස්‌කම් ඉඳුරා දන්නෙහිය. වැසි සමය අප අසපුවටම සීමා කරයි. පිණ්‌ඩපාතය සඳහා යැමට පවා බාධා සිදුවෙයි. එහෙත් ඉඩ ලැබෙන පරිදි මේ සති කීපය තුළ සදහම් අමා පැන් සැනහීමටත්, මතු සිදු කෙරෙන කටයුතු සැලසුම් කිරීමටත් බාධාවක්‌ නැත. දැන් අප පස්‌දෙනාම ඔබ වහන්සේගේ ඒකාන්ත අනුගාමිකයෝය. අප යම්තම් ලද ඒ දහම් මිහිර වඩාත් විචිත්‍රවද, ගැඹුරුවද විඳිනු රිසියෙමි. එසේම ඒ දහම් උපන් බව අවිද්‍යාවෙන් වැසී ගිය ලොවට කියන්නටද ලෝ සතුන් ඒ මග වෙත යොමු කරවන්නටද ඔබ වහන්සේ දරණ ප්‍රයත්නයට අපටද දායක විය හැකි නම් එයද අපගේ භාග්‍යයකි. ඉඳින් ඔබ වහන්සේ අනුදැන වදාරණ සේක්‌ නම් මෙහි වස්‌ වසනු මැනවැයි ආරාධනා කළේය.

එවේලෙහි බුදුන් වහන්සේද කොණ්‌ඩඤaඤයන්ගේ ආරාධනාව ඉවසා සිටියහ. සිය මංගල ධර්ම දේශනාවෙන් වඩාත් ප්‍රතිලාභ අයත් වූයේ මිනිස්‌ ලොව ජනයාට නොව දෙව් බඹුන්ට බවද උන්වහන්සේ සිහි කළහ. එදා දම්සක්‌ දෙසුමට සවන් දුන් දෙවියෝ අසංඛ්‍යයක්‌ පමණද බ්‍රහ්මයෝ කෝටියක්‌ පමණද සසර දුක්‌ නිවා නිවන් දුටහයිද බුදුන්ට සිහි විය. තවත් අප්‍රමාණව භුමාටු දෙවියෝද වෙනත් සක්‌වල ප්‍රාණිහුද සදහම් මාවත දුටහයිද උන්වහන්සේට සිහිපත් විය. තව නොබෝ දිනකින්ම මේ පස්‌වග තවුසන්, පස්‌වග මහණුන් බවට පත්ව සම්බුද්ධ ශාසනයේ අභිවර්ධනය උදෙසා කැපවන අයුරුද උන්වහන්සේ සිහි කළහ. එසේ සිතූ උන්වහන්සේ කොණ්‌ඩඤaඤයන් අමතා තමන් වහන්සේ මිගදායෙහි වස්‌ වැසීමට රිසි බව දැන්වූහ.

අනතුරුව බුදුන් වහන්සේ පස්‌වග තවුසන් සමඟ දහම් සාකච්ඡාවලද නිරත විය. ඉන්ද්‍රියයන් පිනවීමේ අන්තයත්, සිරුරට දුක්‌දීමේ අන්තයත් අතහැර මැඳුම් පිළිවෙත ඔස්‌සේ යමින් තමන් වහන්සේ අත්පත් කරගත් සත්‍යය පිළිබඳ ඇතැම් කරුණුද එහිදී පස්‌වග තවුසන්ට උන්වහන්සේ සරලව දේශනා කළ සේක. ඉදින් සමාධි සිතින් මේ ධර්මතා මෙනෙහි කරන ඔබට ඉතා ඉක්‌මනින් නිවන් දොර විවර වනු ඇතැයිද උන්වහන්සේ පස්‌වග තවුසන් දිරිමත් කළහ. අනිත්‍ය ධර්මය සමඟ රූප, වේදනා, සඤaCදා, සංකාර, විඤaCදාන අතර සහ සම්බන්ධතාවද පැහැදිලි කළ බුදුහු ඔවුන්ට තවත් උපකාර කළෝ ඉක්‌මනින්ම කෙලෙස්‌ නසා රහත්භාවයට එළඹීමටය.

පස්‌වග තවුසන් අතර සිටි ප්‍රමුඛයා කොණ්‌ඩඤaඤය. හේ සෝවාන් බවට පත්ව බුදුන් වහන්සේ වෙත එළඹ තමන්ට පැවිද්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. බුදුහු එවේලේම ඔහු දෙසට සුරත දිගු කර "මහණ මෙහි එවයි" වදාළහ. සෙසු තවුසෝද විස්‌මිතව බලා සිටියහ. ඔවුන්ට දැක ගත හැකි වූයේ තපස්‌ පෙනුම දුරු කළ මනාව සිවුරු පොරවන ලද ශ්‍රමණ විලාසයකි.

අනතුරුව බුදුන් වහන්සේ ඉතිරි තවුසන් සිව්දෙනාද වෙන වෙන වෙනම කැඳවා භාවනා සඳහා ඇවැසි කමටහන්ද ලබා දුන් සේක. ඔව්හුද මහත් අධිෂ්ඨානයෙන් ඒ ධර්මය සිහිපත් කරන්නාහු මාර්ගඵල අවබෝධ කර ගත්හ. වප්ප, භද්දිය දෙවනුවද මහානාම, අස්‌සජි තෙවනුවද වශයෙන් පැවිදි වරම් ලැබ සසුන්ගත වූහ. බුදුන් වහන්සේ සිය ඉපැරණි මිත්‍රයන් වූ පස්‌ වග තවුසන් පස්‌වග මහණුන් බවට පත්වූ අයුරු දැක උපේක්‌ෂාවෙන් බලා ඔවුන්ට අනන්ත ලක්‌ඛණ සූත්‍රයෙන් දහම් දෙසූහ. ඒ ඇසූ පස්‌ නම අර්හත් භාවයට එළඹියහ. බුදුහු මෙලෙස රහත් බව ලද පස්‌නම අමතා බුදු සසුන දැන් ලොව පහළ විය. එය ඉතා කුඩා දිය බිඳක්‌ සේ පැන නැග අතු ගංගා ලෙසද, මහා ගංගා ලෙසද අප්‍රමාණ සිහිල් පැනින් යුත් සාගර ලෙසද මෙතැන් පටන් ගලා බසිනු ඇතැයි කීහ. පස්‌වග තෙරුන් වහන්සේලා සාධුකාර දුන්හ. ඒ හඬ දෙව්ලොවට ද බඹ ලොවටද විදුලියක්‌ සේ දිවීය. ඉන් ප්‍රමුදිත වූ දෙව් බඹහුද යළිත් සාධු නද දුන්හ.

මිගදා අසපුව මෙලෙස ලෝ සතුන්ගේ පරම ශාන්තිය උදෙසාම වූ කටයුතු වෙත යොමු වෙද්දී තවත් සුවිශේෂ දෙයක්‌ද සිදුවන බව බුදුන් වහන්සේ දිවැසින් දුටු සේක. තමන් වහන්සේ සමඟ සය නමක්‌ වූ රහතුන් වහන්සේලාගේ සමාජයට මෙහිදී තවත් කීප දෙනෙකුම එක්‌ වන අයුරු උන්වහන්සේ දුටහ. එසේම කීප දෙනෙක්‌ පන්සිල්හි පිහිටා සම්මා දිට්‌ඨිය ලබන අයුරුද බුදු ඇසට යොමු විය.

එදා අලුයම් වේලෙහි තමන් වහන්සේ වෙත එළඹෙන යස නම්වූ තරුණ සිටු පුතු පිළිබඳව දිවැසින් දුටු බුදුන් වහන්සේට අබිනික්‌මනට පෙර තමන් වහන්සේ විසින් ගෙවන ලද නිෂ්ඵල ජීවිතයද සිහි විය. තමන්ට ලැබෙන සක්‌විති පදවිය කෙරෙහි ලොබින් පිය රජු විසින් තමන් මාලිගාවෙහි රඳවා ගැනීමට යෙදූ සියලු උපක්‍රමද උන්වහන්සේට මතක්‌ විය.

මේ යස නමැති සිටුවරයාද විසල් ධන ඇති මහසල් කුලයක ඉපිද යස ඉසුරු විඳිමින් දිවි ගෙවූ අයෙකි. එහෙත් ඔහුගේ සිත බෙහෙවින් සංවේදී විය. වහා යමක්‌ කෙරෙහි කලකිරෙන ගුණයක්‌ද ඔහු තුළ විය.

මේ සියලු තතු දත් යසගේ මව වන සුජාතා සිටුදේවිය ඉතා සියුම්ව ඔහු සියලු මනදොළ සපුරා ලීමේ පිළිවෙතක්‌ කෙරෙහි යොමු වූවාය. එයට සුවිශේෂ හේතුවක්‌ද විය. ඒ යසගේ ජන්ම පත්‍රය බැලු එක්‌ නැකැත්කරුවකුගේ අනාවැකියකි. ඔහු පවසා සිටියේ යස යම් දිනක තමා විඳින සියලු යස ඉසුරු අතහැර සෘෂි ජීවිතයක්‌ තෝරා ගන්නා බවය. මේ අනාවැකියද සුජාතාගේ සිතට වධයක්‌ විය. ඕ ඒ බව නොහඟවා පුතුගේ කුමර දිවිය කෙළි දෙලෙන්ම ගෙවීමට සියල්ල සම්පාදනය කළාය. භද්‍ර යෞවනයෙහි සිටි යස රිසි සේ ප්‍රීති වූයේය. සිය මිතුරන් කැඳවා සාද පැවැත්වූයේය. තමා වෙනුවෙන් තුන් සෘතු ගෙවීමට විශේෂයෙන් සාදන ලද වසන්ත, ගිම්හාන, වස්‌සාන මාලිගාවලම ඔහුගේ ජීවිතය ගෙවී ගියේය.

ඒ මහල් ප්‍රාසාදවල රැයත් දවාලත් වෙනසක්‌ නොවීය. සුවඳ බොජුන්, සැප සයනා වලින්ද විවිධ සුරා වලින්ද ඒවා සපිරිණි. ඒ ඒ මාලිගාවල යොවුන් ලියෝ දහස්‌ ගණනින් වූහ. ඔව්හු මනා රූසපුවෙන් යුතු සුකුමාර ලියෝ වූහ. භද්‍ර යෞවනයේ චමත්කාරයද ස්‌ත්‍රී භාව භාවයන්හි ආකර්ෂණයද ඔවුන් කෙරෙන් දිස්‌ විය. වරක්‌ දුටු අයෙක්‌ දෙවරක්‌ නොව කීප වරක්‌ම නැවතී බලන තරම් දර්ශනීය වූ ඒ සුකුමාර ලිය පහස ලබන මිනිසෙක්‌ කෙලෙස ඉන් මිදෙනු ඇද්ද?

යස තමන් උදෙසා ඇරඹුණු මේ කාමභෝගී ජීවිතයෙහි ගැලී ඇලී විසීම අරුමයක්‌ද? යෞවනයේ නොපහන් සිතිවිලිවලින් අවුල් වූ මනසද සම වයසෙහි මිත්‍ර සමාගම්ද ඔහුට මෙහි සුපහස්‌ විඳීමට වෙනත් හේතුද විය. යස උඩෙලිපතින් යටෙලිපතට බැසීමට තරම්වත් උනන්දු නොවීය. පරිවාර ලියන්ගේ මුදු සත්කාර ඔහුගේ සිත අප්‍රමාණව පුබුදු කළේය. නැටුqම්, වැයුම්, ගැයුම් සමඟ නිබඳ ගලා ගිය සංගීත රිද්මය හැර වෙනත් කිසිම දෙයක්‌ ඔහුගේ දෙසවනට නො ඇඳුණි. යොවුන් ලියන්ගේ සුපහසද නාරි ලාලිත්‍ය තීව්‍ර කළ භාව භාව විලාසයන්ද හැර වෙනත් දසුනක්‌ ඔහුගේ ඇසට නොගැටුණි.

හේ ඇතැම් දිනක සුරා වෙන්ද මත්ව නුරා රස විඳියි. අනඟලියෝ තුඩට තුඩු දිදී ඔහු අස්‌වසති. ප්‍රේමාලිංගන නොමඳව ලැබෙයි. සම්භෝග සුව විඳිමින් සියලු මනදොළද සපුරා ගනියි සත්තකින්ම අඩුවක්‌ යෑයි කිව හැකි යමක්‌ නොවීය. බැහැර ලොව සමඟ කිසිදු සබඳතාවක්‌ නොමැතිව කල් ගෙවන යස පිළිබඳ සියලු තතු සුජාතා සිටු දේවියද දිනපතාම ලබා ගත්තාය. නැකැත්කරුවාගේ අනාවැකිය ඉටු නොවනු ඇතැයිද ඇය සිතුවාය.

කාලය එලෙස ගෙවී ගියේය. එහෙත් යසගේ සිතට අඩුවක්‌ දැනුණි. ඔහුට සියල්ල පිළිබඳවම නොපහන් සිතිවිලි පහළ වෙමින් තිබුණි. පළමුව යසගේ සමීප මිතුරෝද දෙවනුව ඔහුගේ ප්‍රිය යෙහළියෝද ඔහුගේ මේ කලකිරීම දැනගත්හ. යසගේ සිත සන්සුන් කිරීම වෙනුවට ඔවුන් නිසා තවත් කලකිරීම වැඩි වන බව යස සෘජුවම කීවේය. මෙයින් සුජාතා සිටු දේවියද මහත් සේ කැළඹිල්ලට පත්වූවාය. කුමක්‌ සිදුවිය හැකිදැයි සිහිඑළවා ගත නොහැකිවූ ඕ වහාම පරිවාර ස්‌ත්‍රියන්ද කැඳවා යසගේ මාලිගාවල සිදුවන දේවල් පිළිබඳ විමසිලිමත්ව සිටින ලෙසට නියෝගයක්‌ද කළාය.

ඒ තීරණාත්මක දවස උදාවිය. යස සුපුරුදු ලෙස සෝපාව මත පහසුවෙන් සිටියේය. වෙනදා ගල්වන සුවඳ හෝ පලඳින මල්දම් හෝ නොවීය. සිය ප්‍රියතම ලියක විසින් පිළිගන්වන ලද සුරා විතද පසෙක තැබූ ඔහු කල්පනාවෙහිම නිමග්නව සිටියේය. සුකුමාර ලිය ඔහුට ළං වීමටද බිය වූවාය. වෙනදා දක්‌වන සරාගී විලාසය වෙනුවට කිසියම් ගෞරවයක්‌ දක්‌වමින් ඔහු වෙත ළංවන ඇය දුටු යස කුමරුන්ටද සිනා පහළ විය. අනතුරුව ඇය මෙසේ පැවසුවාය.

මා ප්‍රිය කුමරුනි. දින කීපයක පටන් ඔබ තුළ යම් අසහනයක්‌ වැඩෙමින් තිබෙනු පෙනෙයි. අප අතින් යම් අඩුවක්‌ සිදුවීද? අපගේ නැටුමෙහි, ගීයෙහි, වැයුමෙහි හෝ සංගීතයෙහි දොසක්‌ දුටුවෙහිද? අප වෙහෙසවී ස්‌නේහයෙන් දක්‌වන සියල්ල දෙස ඔබ නෙත් කොනින් තරම්වත් නොබලන්නෙහිය. සබඳ කියනු මැනවි. ඔබට නොපහන් වූ මනදොළක්‌වත් තිබේද? වල්ලභ කුමරුනි මේ මාලිගාවල නොමැති සුවයක්‌, මිහිරක්‌ ඔබ රිසි වන්නෙහිද? මේ දිළිඳු යෙහෙළියන්ට විඩා නොදී සඟවා ගත් සිත හෙළි කළ මැනවැයි ඔහුට ආයාචනා කළාය.

යස කුමාරයාට ඇයට ප්‍රතිචාර නොදක්‌වා සිටීමට නොහැකි වූ තරමටම ඇගේ ඇවිටිල්ල දැඩිවිය. තමා තුළ නැගෙන කලකිරීම ඇයට කීම මැනවයි සිතූ හේ මෙසේ පිළිවදන් දුන්නේය.

ප්‍රිය යෙහෙළිය. මේ මාලිගාවලට වඩා භෞතික යස ඉසුරු සැදුණු අන් තැනක්‌ මේ මුළු දඹදිව් තලයෙහිම ඇතැයි මම නොසිතමි. මගේ තාරුණ්‍යයද එකම කෙළිලොල් සිහිනයක්‌ බඳු විය. එහි කිසි දිනක කඳුළක්‌, ඉකිබිඳුමක්‌, සුසුමක්‌ නොවීය. ඉඳුරන් පිනවීමේ සියලු දේවල් එහි නොඅඩු විය. මමද මගේ ප්‍රිය සගයෝද දවසින් දවස ඒ සියලු සැප නොඅඩුව විඳ ඇත්තෙමි. එහෙත් දැන් මා සිත අයෑද සිටින්නේ එවන් භෞතික සුවයක්‌ නොවේ. මේ මාලිගාවලින් පිටත ජීවිතය කුමක්‌දැයි මම නොදනිමි. එහෙත් මෙනුවර මෙබඳු යස ඉසුරු රැඳි තැන් අතිශයින් විරල බව මට හැඟෙයි. මට වුවමනා ජීවිතය මෙය නොවන බව හැඟෙයි. මෙයින් මට ලද හැකි සහනයක්‌ හෝ අස්‌වැසිල්ලක්‌ නැති බවද හැඟෙයි.

සිටු කුමරුන්ට සවන් දුන් ඕ තුළද මහත් බියක්‌ දැනුණි. එහෙත් ඒ බවක්‌ නොහඟවා ඇය අනෙක්‌ ලියන් අතර සැඟවී ගියාය.

ඉනික්‌බිතිව සුපුරුදු පරිදිම සංගීතය නැගුණි. මාලිගාවෙහි පන්දම් එළිය අඩු විය. ලියෝ පෙර දින මෙන් සැදී පැහැදී කුමරුන් වෙනුවෙන් ගැයුම්ද, වැයුම්ද, නැටුම්ද ඉදිරිපත් කළහ. තවමත් කුමරුන්ට පිරිනැමූ සුරාවිත එලෙසමය. එක්‌ යොවුන් ලියක්‌ එය විමසූ කල්හි අද තමන් හිස රුජාවකින් පෙළෙන බවත් එනිසා පලතුරු යුෂ බඳුනක්‌ පමණක්‌ සපයන ලෙසත් ඉල්ලා සිටියේය.

යස කුමරුන්ගේ මේ අලුත් වෙනස දැන සිටියේ කීප දෙනෙක්‌ පමණි. කිසිදු උද්දාමයකින් තොරව ගැයුම් වැයුම් හා නැටුම් දෙස බලා සිටි යස ඉබේටම නින්දට වැටුණි. වෙනදා මඳින් මඳ නැගී එහි උත්කර්ෂ රිද්මය කරා යන සංගීතයද ඔහේ විසිර යමින් තිබුණි. නාටිකාංගනාවෝද එය අවධාරණය කළහ. තමන්ගේ නැටුම්ද සංගීතයද කුමරුන් නොවිඳිනා බව සැකහැර දැකගත් ඔව්හුද "අපි කුමක්‌ හෙයින් මෙලෙස වෙහෙසෙමුදැයි" කියමින් විවේක ගනු රිසි වූහ.

ඉනික්‌බිතව සියල්ලෝම නිදන්නට වූහ. මහා කෝලහලයක්‌ සංසිඳී නිහඬ වූ කල්හි මෙන් මාලිගාවද නිසල විය. ඒ නිහඬ විරාමයේදී නැගී සිටි යස සිටු කුමරුන්ට කිසියම් අස්‌වැසිල්ලක්‌ දැනුණි. කුමක්‌ සිදුවී ඇද්දැයි විමසිල්ලෙන් හාත්පස බැලු ඔහුට දිස්‌ වූයේ අප්‍රසන්න දසුන්ය. සුරඟන ලියන් සේ සුසැදි ලියන්ගේ ගෙල හා හිස සැරසූ මල්ද මල්දම්ද ගිලිහී බුමුතුරුණු මත විසිර ඇති අයුරු ඔහු දුටුවේය. දත්කූරු කමින්ද ගොරවමින්ද නිදාහුන් ඇතැම් ලියන්ගේ රහස්‌ තැන් පවා විවරව තිබෙනු දුටු කුමරුන්ගේ සිත දැඩි සේ කැළඹිණි. මේ විප්‍රකාර දසුන් කෙබඳු මායාවක්‌දැයි ඔහු සිහි කළේය. නිරුවතින්ද අඩ නිරුවතින්ද සිටි යොවුන් ලියන්ගේ විලාසය බෙහෙවින්ම විසුළු විය. සංගීත භාණ්‌ඩද ඒ මේ අත විසිර ගොස්‌ තිබුණි. කෙනෙක්‌ ඒවා මත හිස තබා නිදා හුන්හ. මේ මෙතෙක්‌ දවස්‌ තමන්ට ප්‍රිය වූ ප්‍රිය සමාගම නොව අමනුෂ්‍ය දූවරුන්ගේ භ්‍රාන්තියක්‌දැයි සිතෙන තරමේ විරූපී චිත්‍රයක්‌ එවේලේ යස කුමරු දුටුවේය.

යස ප්‍රවේශමින් හඬ නොනැගෙන පරිදි අසුනින් නැගිට්‌ටේය. ඔහුගේ පයෙහි ගැටුණු එකියක්‌ අසිහියෙන් මෙන් හිස ඔසවා යළිත් නිදන්ට වූවාය. හේ තැනින් තැන වැතිර සිටින ලියන්ගේ සිරුරු මඟහරිමින් දොර අසලටම පැමිණ යළිත් හැරී බැලුවේය. කිසිදු අමුත්තක්‌ නැත. මාලිගාවම නින්දේය. හේ හෙමින්ම මාලිගාවෙන් එළියට පැමිණියේය. ඔහුගේ දෙපයෙහි රන් මිරිවැඩි සඟල පමණක්‌ විය.

අහස අඳුර හා සුදු පැහැයද මුසු පෙනුමක්‌ ගෙන තිබුණි. පෝය ඉකුත් වී දෙසතියකටත් වඩා ගෙවී තිබුණු හෙයින් සඳ අහසේ නොවීය. තාරුකා එළිය අඳුරට බියෙන් මෙන් නිවෙමින්, දිලෙමින් තිබුණි. මාලිගා පරිශ්‍රයෙන්ද ඈත්වූ යස කුමරු තරමක්‌ වැඩී තිබුණු රුක්‌ පෙළ අසලින් වූ පටු මාවත ඔස්‌සේ ඉදිරියට යැමට සිතා ගත්තේය. සීතල මුසු සුළඟ වැස්‌සක ලකුණු කීවත් තවත් හෝරා කීපයක්‌ වැසි නොවැටී තිබෙනු ඇතැයි ඔහුට සිතුණි. අන්ධකාරයේ නිහඬ බව බිඳ ගෙන යන වවුලන්ගේ හඬ ඔහුට තේරුම්ගත නොහැකි විය. තමන් කිසිම දිනක මෙවැනි අඳුරක බාහිර ලෝකය දැක නොතිබුණු බවද ඔහුට සිහිවිය. රාත්‍රිය කොතරම් සුන්දරදැයි එවේලෙහි ඔහුට සිතුණි.

ගමන් මග කිසිදු බාධාවක්‌ නැත. හේ කල්පනා කරමින්ම පෙරට ඇදෙයි. එක වරම ඔහුට සිහිපත් වූයේ සිය මව සුජාතා සිටු දේවියයි. තමන්ගේ සැනසිල්ල සඳහා ඇයගේ මුළු ජීවිතයම කැපවූ අයුරුද ඔහුට සිහි විය. හෙට උදයේ තම මැදුර පමණක්‌ නොව බරණැස්‌නුවරම කැළඹෙන වග ඔහුට රහසක්‌ නොවීය. එහෙත් තමන්ගේ උරුමය මාළිගාවේ නැති බව ඔහු නිශ්චිතවම දුටුවේය.

අරුණෝදයේ ලකුණු මතු වෙමින් තිබුණි. මේ කුරුලු නාදය මොන තරම් මධුර සංගීතයක්‌ද? හිරුගේ පළමු රැස්‌ දහරාව නිකුත් වීමට තවත් ස්‌වල්ප වේලාවක්‌ ඉතිරිව තිබුණි. ඔහු ඒ මනස්‌කාන්ත දසුන දෙස බලා සිටියේය. අහස හා වලාපෙළ අතරින් පෙනෙන ළා රන්වන් පැහැය ඔහු දුටුවේ සියුම් සිත්තරකුගේ අපූර්ව නිර්මාණයක්‌ ලෙසය. සොබාදහම රසවිඳිමින් යන ඔහුට එක්‌වරම දිස්‌ වූයේ ඒ මේ අතට ඇවිද යන කිසියම් අයෙකුගේ අපැහැදිලි දසුනකි. මොහොතක්‌ නතරව බැලු ඔහුට ඒ ශ්‍රමණරුවක්‌ බව පෙනුණි.

බුදුන් වහන්සේද තමන් වෙතට එන යස කුමරුන් පිළිබඳ සියලු තතු දැන සිටිසේක. සක්‌මන නතර කළ උන්වහන්සේ යස කුමරුන්ට පෙනෙන පරිදිම අසල වූ ගල්තලාවක වාඩි වූ සේක. යස උන්වහන්සේ සිටි ගල්තලාව දෙසට ඇදුණි. එහෙත් මේ තමන් සමීප වන්නේ බුදුන්ට බව හේ නොදත්තේය. එසේ වුවද උන්වහන්සේගේ ශාන්ත විලාශයද රන් රුවක්‌ බඳු සිරුරද යසගේ සිතට මහත් අස්‌වැසිල්ලක්‌ බඳු විය. අනතුරුව ඔහු තමන් ගැන මෙසේ කියන්නටද විය.

"මම මහසල් සිටු කුලයක ඉපිද යස ඉසුරින් මැවුණු ජීවිතයක හිර වී සිටි දිළින්දෙක්‌මි. මවිසින් සුවයකැයි විඳින ලද්දේ මායාවකි. ස්‌ත්‍රී පාර්ශ්වයෙහි ලොල්ව බැඳුණු මම ග්‍රාම්‍ය රසයකට නැඹුරු වීමි. එහි අග්ලීල ග්‍රාම්‍ය බව ඊයේ මනාව පසක්‌ කර ගත් මට තවත් එදෙස බලා සිටින්නට තරම්වත් නොහැකි තරමටම ජුගුප්සාජනක විය. මගේ භද්‍ර යෞවනයම නාස්‌ති වී වැනසී ගියේ නිෂ්ඵල ළාමක ජීවිතයකටය. දැන් මම වැනසී සිටිමි. මට යායුතු මඟක්‌ද සිතට අස්‌වැසිල්ලක්‌ද නැත. නුඹ වහන්සේ විමුක්‌ති මාර්ගයක ගමන් කරන්නෙක්‌ ලෙස මට හැඟෙයි. මා කුමක්‌ කළ යුතුදැයි මට නිශ්චිතව සිතාගත නොහැක. මගේ ධෛර්ය හා අධිෂ්ඨානය හැර සියල්ල මා අතහැර ගිය ආකාරයක්‌ දැනෙයි. මගේ අන්ධභාවය, විකල්භාවය දුරලා ගැනීමට මට පිහිට වුව මැනවි. නොඑසේ නම් මම යළිත් හිස හැරුණු අතක යමි.

බුදුන් වහන්සේ මහත් දයාවෙන් ඔහු දෙස බලා සිටියේය. අනතුරුව ඔහු සමඟ සුඛය යනු කුමක්‌දැයි ඔහුට විග්‍රහ කරන්නටද වූ සේක. තෘෂ්ණාව නමැති දැලට හසුවී නිබඳ පීඩනයට පත්වන මිනිසා පිළිබඳ උන්වහන්සේ යස සිsටුකුමරුන්ට විග්‍රහ කළ සේක.
ගාමිණී සුමනසේකර

2011 අගෝස්‌තු 14 ඉරිදා 8

ලියක්‌ පසුපස කුමක්‌ නිසා දුවන්නෙහිද?


යස කුමරුන් මාලිගාවේ නොමැති බව දත් යොවුන් ලියෝ ඉමහත් වික්‍ෂිප්ත භාවයකට පත්වූහ. මේ පුවත මාලිගාවේ පමණක්‌ නොව බරණැස්‌ පුරයම කළඹවන්නක්‌ වන බව ඔව්හු ඉඳුරා දත්හ. කෙනෙක්‌ ගෙවී ගිය රාත්‍රිය මතකයට කැඳවන්නට තැත් කළහ. තවත් කෙනෙක්‌ ලිහිල්ව ගිය සිය කෙස්‌ වැටිය සකසා මුහුල බඳින්නට වූවාය. අඩවන් වූ කවුළු දොරින් හැමූ සුළඟ ද, එවේලේ ඔවුන්ට කරදරයක්‌ සේ විය. දිගු නිහඬතාව බිඳිමින් කතා කළේ යස ගේ ප්‍රියතම යෙහෙළියක වූ අරුණිය.

"මං කිව්වනේ සිටු කුමාරය ඊයේ හරි අමුතුයි කියල. මතකද මං මොනතරම් පෙරැත්ත කළත් මධුවිත තොල ගාන්නෙ නැතුව ප්‍රතික්‍ෂේප කළ හැටි. ඊට පස්‌සෙ මගෙ අතින්ම පිරිනැමුව පලතුරු යුෂ ඔඩමත් පැත්තක තිබ්බ."

අරුණිගේ කතාවට පිළිතුරු දුන්නී චාපා ය. චාපා ද යසගේ සමීපතම යෙහෙලියකි.
"සිටු දේවිය නිතරම කිව්වේ කුමාරයා හුදකලාව තියන්ට එපා කියල. එයාගෙ සතුට විනෝදය ගැන බලන්ට කියල. ඒත් දෛවය මහ පුදුම දෙයක්‌. ගලන ගඟක්‌ හරස්‌ කරල නවත්වන්ට අපට බෑ. හරියට නෙළුම් දඬුවලින් ඇත්තු බැඳල තියන්ට බැරුව වගේ."

හැම කෙනෙකුටම අවශ්‍ය වූයේ යස මාලිගාව හැර ගියේ තමන්ගේ ප්‍රමාදයකින් නොවන බව සිතීමටය. එය ඒකාන්තයෙන් ම සිදුවන ඉරණම් ගමනක්‌ බව සිතා ළය සැහැල්ලු කර ගැනීමටය. එහෙත් හැම කෙනෙකුගේම සිත තුළින්ම එයට එරෙහි වූ දෝෂාරෝපණයක්‌ ද නැඟුනි. වෙනදා නම් ඔවුන්ගේ තොර තෝංචියක්‌ නොමැති දඟකාර කතාවල්ය. එහෙත් ඒ අරුණෝදය ඔවුන්ගේ සියලු සිතුම් පැතුම් ගල්කර දැමූ සෙයකි. ඉක්‌බිති පියෙන් පිය නගිමින් සිටු මැඳුර දෙසට ළං වූ ඔවුන් විමසිලිමත් වූයේ ඊයක වේගයෙන් තමන් ඉදිරියට දිව එන අයෙක්‌ නිසාය. මේ අඩවියෙහි සිටු මැදුරේ සේවකයන් හැර බාහිර අය නොවෙතියි ඔවුහු දනිති. දිවීම බාල කළ සේවකයා හතිලමින් ඔවුන් අබියස නතර විය. ඔහු නොපැහැදිලිව යමක්‌ කියයි.


"හුස්‌ම කටක්‌ අරගෙන හති ඇරල කියන දෙයක්‌ කිව්වනං අපට තේරෙනව."

අරුණිගේ මුවින් පිට වූයේ අදහසකට වඩා විධානයකි.

"හුස්‌මක්‌ කටක්‌ ගන්ටත් ඉස්‌පාසුවක්‌ තියේයෑ සිද්ධවෙන දේවල් දැක්‌කම. දැන් තුන් පාරකට වැඩිය සිටු දේවියගෙ සිහිය මුර්ජා වුණා. අසිහියෙන් වගෙ කියන්නෙ "අනේ මගේ පුතා ගෙනත් දෙන්නට කියල." හෘදය වස්‌තුව පැලෙනව හැබෑට අහන්ට බෑ ඒ අෙ¹aනා............"

සේවකයා නිහඬ වූයේ අරුණිගේ ඊළඟ විධානයටය. ඔව්හු යළිත් දෙපා ඉක්‌මන් කළහ. සිටු මැඳුර තුළ වූයේ දැඩි කලබලයකි. ඒ මේ අත දිව යන සේවකයෝ ය. විලාප ද හැඬුම් ද, සුසුම් ද නැඟෙයි. සිටු දේවියගේ විලාසය ඉතා දුක්‌මුසු විය. ඇය අසලින් ම සිටුතුමා ද විය. යොවුන් ලියන් දුටුවත් ඇගේ අමුතු ප්‍රතිචාරයක්‌ නොවීය. සිටුතුමා අත තිබුණු විජිනිපත අරුණිගේ සුරතෙහි රැඳුණි. සිටුතුමා ඔවුන් එහි සිටියදීම මාලිගාවේ පහළට ආවේය. ඔහු එහි වූ රහස්‌ දොරක්‌ අසලට එද්දීම දොරටුපාලයා ඔහු හඳුනාගෙන ගෞරවයෙන් මෑත් විය.

අනතුරුව ඔහු එතැනින් පිටතට පැමිණ මැඳුරේ උයන දිගේම මඳ දුරක්‌ ගොස්‌ එතැනින් ද පිට විය. එය ජනශූන්‍ය පෙදෙසකි. අතුරු මාවත දෙපස නොයෙක්‌ වෘක්‍ෂයන්ගෙන් සෝබමාන විය. රුක්‌ ගොමුවලින් තවමත් පිනිමුතු වැටෙයි. සිටුවරයා ඒ මාවත දිගේ ඉදිරියටම ගමන් කරන්නට විය. තවමත් හිරු එළිය නොවැටණු අඳුරු සෙවණැලි විය. කල්පනාවෙන් බර වූ හිස බිමටම යොමා ගෙන තවත් කෙටි දුරක්‌ ගමන් කළ සිටුවරයාගේ ඇසට යොමු වූයේ මනාව සටහන් වූ මිරිවැඩි ලකුණු පෙළකි. හේ ඒවා එකවරම හඳුනාගත්තේ සිය පුත් යසගේ පයෙහි වූ මිරිවැඩි සඟලෙහි ලකුණු බව නිගමනය කළේය. ඔහුගේ විනිශ්චය නිවැරැදි විය. ඔහු සිතට අලුත් උද්යෝගයක්‌ නැඟුනි.

එවේලෙහෙs සිටුවරයාගේ අබියස එක්‌ක්‍ෂණයකින් පහළ වූ හිරු මඬලක්‌ සේ සුදිලෙන රන් රුවක්‌ බඳු දසුනක්‌ විය. එහෙත් ඒ රුව කුමක්‌ දැයි නොදත් හේ හිටිවනම නතර විය. බුදුන් වහන්සේ ඒ යසකුල පුතුගේ පියා බවත්, ඔහු සිය පුතු සොයා මාලිගාවෙන් නික්‌ම ආ බවත් සැණකින්ම දැන ගත් සේක. ඔහු සමඟÊකතා කළහොත් එය යහපතැයි සිතූ උන්වහන්සේ, ඔහු දෙසට නෙත් සඟල යොමු කර " එන්න එන්න" යෑයි වදාළ සේක. ඒ වදන් සිටුවරයාගේ සිරුර පුරා දිව යන මුදු සිසිලක්‌ සේ ඔහුට දැනුණි. මෙතෙක්‌ හද දැවූ සෝ ගිනි ද දුරු වූ බවක්‌ ඔහුට හැඟුණි. මේ ආශ්චර්ය සාමාන්‍ය පුද්ගලයෙක්‌ කෙරෙහි නම් විය නොහැක්‌කේ යෑයි සිතූ හෙතෙම මඳක්‌ ඉදිරියට ගොස්‌ "ඔබගේ විලාසයද, ඔබගේ වදන් ද මට මහත් සුව දනවයි. මා පැමිණියේ හිස ගිනිගත් අයෙකු ලෙසය. එහෙත් එගිනි නිවන මං ඔබ කෙරෙහි ඇතැයි මට හැඟෙයි......." යනාදී වශයෙන් බුදුන් වහන්සේ කෙරෙහි ප්‍රසාද සිතැතිව කියා සිටියේය.

"මම බුද්ධ නම් වෙමි. ඔබ ඇතුළු මේ මිහිතලයම දවන ගිනි මම නිවා ලූයෙමි. එන්න මම ඔබට පිළිසරණ වෙමි. යළි කිසි දිනක මෙවන් ගින්නක්‌ ඔබට නොඑන්නට ද මඟ පෙන්වමි. එන්න මේ අසලින් හිඳගන්න" යනුවෙන් බුදුහු සිටුවරයාට පිළිවදන් දුන්හ. සිටුවරයා ද තමන්ට මහත් ප්‍රතිලාභයක්‌ අත්වන බව සැක හැර දැන බුදුන් වහන්සේට නමස්‌කාර කර අසලින්ම හිඳ ගත්තේය.

මෙය සෘෂිවරුන්ගේ වාස භූමියක්‌ බව නම් ප්‍රකටය. එහෙත් මෙහි බුදු කෙනෙක්‌ වසන බවක්‌ මේ වනතෙක්‌ නොදත්තෙමි. තවද මම ඔබ වහන්සේ කෙරෙහි මනාව පැහැදුනෙමි. එහෙයින් ඔබගේ යම් ඉගැන්වීමක්‌ ඇද්ද මම ද එය පිළිගන්නෙමි යි සිටුවරයා ද කියා සිටියේය. 

එබසට බුදුන් වහන්සේ කියන සේක්‌,

"ඔබ භාග්‍යවන්තයෙකි. මේ මොහොත වන විට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයෝ පහළව සිටිති. මතු මුළු මහත් දඹදිව් තලයෙහි ද ඉන් ඔබ්බෙහි ද විසිර පැතිර යන සදහම් ගංගාවෙහි බිඳුවක්‌ මුව ළා ගන්නා ඔබ මගේ පළමු උපාසකයා ද වන්නේ යෑයි" වදාළේය.

සිටුවරයා මහත් සේ පුමුදිතව මොහොතක්‌ සිට මේ දුර ගෙවා තමන් පැමිණි කරුණ පිළිබඳව ද විමසිය යුතු යෑයි සිතුවේය. ඔවුන්ගේ සිත දත් නමුදු බුදුහු නිහඬවම වැඩ උන්හ.

"බුදුන් වහන්ස, මම අද අලුයම් වේලෙහි මා නිවසන සිටු මැදුරෙන් බැහැරව යස නම් වූ මගේ එකම පුතු සොයා පැමිණියෙමි. හේ ඊයේ රාත්‍රියෙහි සිට අතුරුදන්ව සිටියි. ඒ පුතු වියෝගයෙන් කම්පාවූ මගේ සිටු දේවිය සුජාතා කිසිදු අස්‌වැසිල්ලක්‌ නොමැතිව පසුවන්නීය. මා මැඳුරෙන් පිටවන මොහොත දක්‌වාත් ඇය උපවාසය අත් නොහැරියාය. එනිසාම දුබලව ද පීඩාවට පත්ව ද සිටින්නීය. මපුතු මේ දිසාවට ආ බවට ඔහුගේ මිරිවැඩි සඟලෙහි වූ සටහන් ද මම හඳුනා ගත්තෙමි." යනාදී වශයෙන් සියලු කරුණු ද බුදුන් වහන්සේට සැලකර සිටියේය. බුදුන් වහන්සේ ද තරමක්‌ නුදුරුව තිබුණු යසගේ මිරිවැඩිසඟල, ඔහුට පෙනෙන්නට සැලැස්‌වීය.

සිටුවරයා එකවරම එය සිය පුතුගේ මිරිවැඩි සඟල බව හැඳින්නේ මහත් සතුටට පත්විය. එහෙත් ඒ සමගම ඔහුට කුමක්‌ සිදුවූයේද යන්න උභතෝකෝටිකය ද ඔහු තුළ වැඩුණි.

බුදුහු ඔහුගේ සිත මනාව දත්හ. එහෙත් පුත්‍රයා ඔහුට නොදක්‌වාම ඔහුට සරල ධර්මයක්‌ දේශනා කළේය. මනුෂ්‍ය ස්‌වභාවය නම් කෙළෙස්‌ වැඩීම බවත්, එනිසාම සසර ගමන නිම නොවන බවත් බුදුහු වදාළහ. දැන් ලොව ධර්මය පහළ වී තිබෙන බවත්, ඒ සඳහම් මාර්ගය කෙලෙස්‌ නැසීමට උපකාර වන අයුරුත් පහදා දෙද්දීම සිටුවරයා මනාව ධර්මාවබෝධය ලද්දේය. ඔහු තුළ වූ සෝකය ද නිවී ගියේය. සිතට මහා අස්‌වැසිල්ලක්‌ ද දැනෙන්නට විය. ඒ දහම් මෙනෙහි කළ ඔහු එවේලෙහිම සෝවාන් ඵලයට ද එළඹුණි.

අනතුරුව බුදුන් වහන්සේ සිටුවරයා අසලට පුතු ද කැඳවා ලූ සේක. ඒ මොහොත වන විට යස සිය පියාණන්ට දෙසූ ධර්මය ශ්‍රවණය කර රහත් භාවයට ද පත්ව සිටියෙන් පියා ඉදිරියට පැමිණියේ පැවිදි වෙසින් ය. එක්‌වරම සිය පුතු හඳුනා ගැනීමට තරම් සිටුවරයා ප්‍රඥ සම්පන්න වන බවදත් බුදුහු තමන් වහන්සේ වෙතට ඔහු කැඳවද්දීම ඒහිභික්‍ෂු භාවයෙන් පැවිද්ද ලබා දුන් සේක. අනතුරුව බුදුහු මෙසේ වදාළහ.

"භාග්‍යවත් සිටුතුමනි, මේ ඔබගේ පුත් යස දැන් සියලු කෙලෙස්‌ සිඳ සසර ගමන අවසන් කළ අයෙකි. ඔහුගේ සිත සන්සුන්ය. එහි යළි කිසි ලෙසකින් කෙළෙස්‌ නමැති රජස්‌ තැන්පත් වීමක්‌ නැත්තේය. ඔවුන් මේ සම්බුද්ධ ශාසනයෙහි සත්වන සාමාජික රහතන් වහන්සේය."

සිටුවරයා ද සිය පුතු බුද්ධ ශ්‍රාවකයෙක්‌ බවට පත්වූ අයුරු දැක පස්‌වනක්‌ ප්‍රීතියෙන් සාදුකාර දුන්නේය. සිය දේවියට කුමක්‌ කියන්නේ දැයි යන පැනය ද එවේලෙහි ඔහු තුළ නැඟුනි. යළිත් සැණකින් ම සිහි නුවණින් කල්පනා කළ සිටුවරයා පසුදින දානය සඳහා බුදුන් ප්‍රමුඛ සත්නමටම සිය මන්දිරයට ඇරයුම් කර සිටියේය.

සිටුවරයා ආපසු මැඳුරට යද්දීත් සියල්ලෝම සෝක භරිතව සිටියහ. සිටුවරයා ආපසු පැමිණි වග දත් සුජාතා දේවිය වහා යහන් ගබඩාවෙන් පිටතට දිව ආවාය. එහෙත් පුතු නොදුටු ඕ කලබලයට පත්වූවාය. සිටුවරයා ඕ අස්‌වසා පසුදින පුතු මැඳුරට එන බව ස්‌ථිරවම පැවසීය. එහෙත් ඇයගේ සිතට සැනසීමක්‌ නම් නොවීය. ඇගේ සිත කුහුලින්බර විය. පසුව සිටුවරයා තමන්ට හමු වූ ශාස්‌තෲවරයාණන් පිළිබඳව විස්‌තර කළේය. උන්වහන්සේ බුද්ධ නමින් හැඳින්වෙන බවත්, තම පුත්‍රයා ද දැනටමත් බුදුන්ගේ අනුගාමිකයකු වී සිටින බවත් හෙතෙම දේවියට පැහැදිලි කළේය.

පසුදින උදැසනම බුදුන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා සත්නම සිටුවරයාගේ මන්දිරයට දන් පිණිස වැඩම කළහ. මාලිගාවේ සේවක සේවිකාවෝ ද කසාවතින් බබලන සන්සුන් ගමන් ඇති බුදුන් ප්‍රමුඛ රහතන් වහන්සේ දැක සාධුකාර දුන්හ. මැඳුරට වැඩම කළ බුදුහු දන් වළ¹ අනුමෝදනා බණක්‌ ද දෙසූහ. දහම් අසා සිටි සුජාතා දේවියගේ සිතට ද ක්‍රමයෙන් අස්‌වැසිල්ලක්‌ දැනෙන්නට විය. පුත්‍ර ස්‌නේහය වෙනුවට ජිවිතාවබෝධය ලද ඇය පුතු ලද පරම ධනය පිළිබඳව ද සතුටු වූවාය.

මේ වනවිට සිය කලණ මිත්‍ර යස මාලිගාවෙන් අතුරුදන් වූ පුවත දැන සිටි යසගේ විමල, සුබාහු, පුණ්‌ණජි, ගවම්පති යන මිතුරෝ ද, සිටු මැඳුරට පැමිණ සිටියහ. බුදුන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේගේ ජීවිත විග්‍රහය පිළිබඳවත් මහත් සේ ප්‍රසාදයට පත් යසගේ මිතුරෝ තමන් විසින් අත්විඳින ලද සුවය පිළිබඳව ඔවුන්ගේ මිතුරන්ට ද කීහ. මේ සියල්ලෝම යස ගෙවූ කාම භෝගී ජීවිතය මෙන්ම එයින් ඈත්වීමට යස තුළ වූ අපේක්‍ෂාව ද මනාව දැන සිටියෝය. තම මිත්‍රයා විසින් ලබා ගන්නා ලද අභිනව ශාන්ති මාර්ගය පිළිබඳව ඔවුන්ගේ සිත ද දැඩිව යොමු විය. ඒකාන්තයෙන් ම කාය චිත්ත විවේකයක්‌ සඳහා තමන් ද යොමු විය යුතු බව ඔවුහු සිතූහ. තවත් කල් නොබැලූ යසගේ මිතුරෝ ද ප්‍රමුඛ පනස්‌දෙනෙක්‌ මිගදායට ගොස්‌ බුදුන් වහන්සේ හමුව ධර්මාවබෝධය ලැබ රහත් වූහ.

මේ වන විට බුදුන් වහන්සේ ද ධර්ම ප්‍රචාරක කාර්ය ආරම්භ කිරීම මැනවැයි නිගමනය කර සිටි සේක. පස්‌වග රහතන් වහන්සේ ප්‍රමුඛ හැට එක්‌ නමක්‌ පමණ වූ රහතන් වහන්සේ තමන් ඉදිරියට කැඳවූ බුදුහු මෙසේ වදාළහ.

"මහණෙනි, දැන් ලෝ වැඩ සඳහා අප්‍රමාදව යොමු විය යුතුය. වැසි සමයද, තව නොබෝ දිනකින් නිම වන්නේය. ගහකොළ නිල්වන්ව සුදිලෙයි. ගඟ දිය ද සුනිල්ව ගලා යයි. ගම් දනව්වල වැසියෝ ද අස්‌වනු කපා පාගා අටු කොටු පුරවා යළි කුඹුරු වපුරන්ටත් අනෙක්‌ භව භෝග වවන්ටත් සූදානමින් සිටිති. ඉදින් මට ද මෙම සඳහම් නමැති කෙත අස්‌වැද්දීමට කාලය එළඹ තිබේ. සියලු සත්ත්වයාගේ හිත සුව පිණිස ඔබ වහන්සේලාද දහම්හි හැසිරෙමින් ගම් දනව්වල සැරිසැරිය යුත්තෝය. කිසි විටෙක දෙදෙනෙක්‌ එක මඟක නොයා යුත්තෝය. මේ කෙළෙස්‌ රජස්‌ සහිත සත්ත්වයා ඉන් මුදවා ඔවුන් මුව දහම් අමා රැඳවීම ඔබට බාරය. මමද ඔබ යන මඟ හැර වෙනත්ම මඟක යන්නෙමි. සුඛ හා දුක්‌ඛ යන ධර්මතා පහදා දෙමින් සිහියෙන් යුතුව ක්‍රියා කිරීමේ අනුසස්‌ මිනිස්‌ වර්ගයාට පහදා දීම අපට බාරය. සියලු සත්ත්වයන්ට යහපත පිණිස ධර්මය දෙසිය යුතුය. පානාතිපාතය ද, සොරකමද, මෙවුන්දම් සෙවීමද, බොරුවද. රහමෙර පානයද යනාදී සරල පන්සිල් මඟ පළමුව දෙසීම අර්ථවත් වේ. එසේම මෙම බුදු සසුනට ඇතුළත් වීමට යම් කෙනෙක්‌ රිසි වන්නේ නම් ඒ සඳහා ඔබට පූර්ණ අවසර ද තිබේ.

අනතුරුව බුදුන් අනුදැන වදාළ අයුරින්ම සියලු රහතන් වහන්සේ සිය ධර්ම චාරිකා ඇරඹුහ. බුදුහු හුදෙකලාවම උරුවෙල නම් ජනපදය බලා වඩින්නට වූහ. ඒ යන අතර මඟ වන පලතුරක්‌ වළඳමින් වඩිමින් සිටි උන්වහන්සේ එක්‌ රුක්‌ සෙවණක විවේකී සුවයෙන් වැඩ සිටි සේක. ඒ රුක්‌ සෙවණට මඳක්‌ ඔබ්බෙහි රමණීය වෙල් යායක්‌ විය. ඒ මැදින් ගලා යන කුඩා දිය දහරක්‌ ද විය.

මේ අතර භද්දවග්ගිය නමින් ප්‍රකටව සිටි කුමාරවරුන් තිස්‌දෙනෙක්‌ ද විනෝද වීම සඳහාම ඒ වෙල්යායට පැමිණ සිටියහ. ඔවුහු මනා රුවින්ද, උතුම් ගුණයෙන් ද යුතු වූහ. භද්දවග්ගිය යන නාමය ඔවුන්ට ලැබුණේ එක හා සමාන සිත් ඇති යන අරුතින්ය. ඔවුන් වාසය කරන ලද්දේ කොසොල් රජු විසින් දෙන ලද කුඩා ජනපදයකය. මෙම කුමාරවරු එක්‌ව යති. එක්‌ව හිඳිති. එක්‌ව විනෝද වෙති. මේ දිනයෙහි ද ඔව්හු එක්‌වම වන ක්‍රීඩාවක නිරත වන්නාහු කෙළි දෙළෙන්ම පසුවූහ.

මේ තිස්‌දෙනා අතර එක්‌ අයෙක්‌ අවිවාහකව සිටියේය. හේ එදින නගර සෝබිනියක්‌ කැඳවා ඇය සමඟ සෙසු කුමාරවරුන්ට එක්‌විය. භද්දවග්ගිය කුමාරවරුන් ප්‍රීති ප්‍රමෝදයෙන් බොහෝ වේලාවක්‌ ගෙවා දමා අනතුරුව ආපසු යැමට කතිකා කර ගත්හ. ඊට පෙර ස්‌නානය කළ යුතු යෑයි කතිකා කරගත් සියල්ලෝම එහි වූ කුඩා දියපහර වෙතට ගියහ. මෙහිදී අවිවාහක කුමරුන්ගේ හුදෙකලාව දුරලීමට පැමිණි අබිසරුලිය පමණක්‌ තමන්ට ස්‌නානය කිරීමේ අදහසක්‌ නැතැයි කියා සිටියාය. මේ කුමාරවරුද ඇය කෙරෙහි කිසිදු සැකයක්‌ නොකර, "එසේ නම් නුඹ අපගේ අබරණ ද, ඇඳුම් ද තබා ගෙන මෙහි සිටිනු මැනවැයි" ඇයට පවසා, තම තමන්ගේ සියලුම වස්‌ත්‍රාබභරණ ද ඇයටම දුන්හ. ඔව්හු සිත්සේ දිය ක්‍රීඩා කර පසුව හැඳ පැළද ගැනීම සඳහා ඒවා මුදාහල ස්‌ථානයට පැමිණියහ. ඒ වන විට අබිසරු ලිය ද "මට මේ අබරණ ඇත්නම් සැපවත් ජීවිතයක්‌ ගෙවිය හැකි යෑ" යි ඒ කෙරෙහි ලොබින් ඒ සියල්ල ද රැගෙන පලා ගොස්‌ සිටියාය. හැඳ පැළඳ ගැනීමට පැමිණි කුමාරයෝ ඇය නොදැක මහත් සේ කලබල වූහ. ඔවුන්ගේ මෙහෙසියෝද තමන් මහා උගුලක වැටුනු වග ඉඳුරා දැන ගත්හ. දැන් කුමක්‌ කරමුදැයි විමසිලිමත් වූ ඔවුහු ඒ මේ අතට ඇවිද වට පිට බලන්නට ද වූහ. එහෙත් කිසිවෙකුට ඇය ගිය දිසාවක්‌ හෝ සොයා ගත නොහැකි විය. අන්ද මන්ද වූ ඔවුහු වනගැබ තුළට දිව යන්නාහු එහි විසල් රුක්‌ මුලක සමාධි සුවයෙන් වැඩ හිඳින බුදුන් වහන්සේ දුටහ. සෙමෙන් උන්වහන්සේ වෙත සමීප වූQ කුමාරයෙක්‌ "දැන් මෙතනින් එක අබිසරු ලියක්‌ දිව ගියේදැයි" විමසීය. බුදුන් වහන්සේ සන්සුන්ව ඔහුගෙන් ඇසුවේ කුමක්‌ හෙයින් කතක්‌ ගැන සොයන්නේද යන වගයි. ඉක්‌බිති ඔව්හු ඇය පැමිණි ආකාරයත්, අනතුරුව සියලු වස්‌ත්‍රාභරණ සොරා ගෙනසැඟව ගිය ආකාරයත් විස්‌තර කළහ. බුදුහු ඔවුන් කළ විස්‌තර අසා සිටි නමුදු ඔවුන් මුහුණ දුන් සියලු විපත ඉඳුරා දත්හ.

"හොඳයි සැඟව ගිය ස්‌ත්‍රියක්‌ සෙවීමට වඩා තමන් ගැන සෙවීම යහපත් නොවේ දැයිබ" එවේලෙහි බුදුහු විචාලහ. පැණසර කුමාරවරු ඒ පැනයෙහි සියලු අරුත් දැන පැනගිය අයකු සෙවීමට වඩා තමන් ගැන සෙවීම යහපත් බව කියා සිටියහ. බුදුහු ඔවුන්ට අනුරූප වන දහමක්‌ දෙසූහ.

කිසිවෙක්‌ ස්‌ත්‍රී රූපය සුබ වශයෙන් ගන්නේද හේ එහිම ඇලෙයි. රූප, ශබ්ද. ගන්ධ, රස, ස්‌පර්ශ යනු පුද්ගලයා බැඳ තබන බැමි හා සමානය. මේ බැමි සිඳීම ශාන්තියකි. ස්‌ත්‍රීන් කෙරෙහි නොබැඳී එහි ආදීනව දන්නා හු ස්‌ත්‍රී අලංකාර යථාර්ථයෙන් දැන හඳුනා ඉන් ඈත් වෙති. බුද්ධිමත්හු එබඳු ලාමක දේවල්වල නොඇලෙති.

බුදුන් වහන්සේගේ මෙම විග්‍රහය ඇසූ කුමාරවරුන්ට උන්වහන්සේගේ අනුගාමිකයන් වීමේ මහා දොළක්‌ ඇතිවිය. අනතුරුව ඔව්හු සිය භාර්යාවන් ආපසු පිටත් කර යවා බුදුන් වෙත පැමිණියහ. බුදුන් වහන්සේ ද ඔවුන්ට භික්‍ෂුත්වයෙහි ගාම්භීරත්වය පහදා දී ඔවුන් ද ඒහි භික්‍ෂුභාවයෙන් පැවිදි කළහ. අනතුරුව ඔවුන්ට ද තිස්‌ මඟකින් ගමන් කර ධර්ම ප්‍රචාර කටයුතුවල නිරත වන ලෙස අනුශාසනා කළ බුදුහු මෙත් මුදිතා ගුණයෙන් ක්‍රියා කළ යුතු බවද, විශේෂයෙන් සඳහන් කළ සේක.

බුදුන් වහන්සේගේ අනුශාසනාව තුෂ්ණිම්භූතව ඉවසූ භද්දියවග්ගිය තෙරවරු මෙබඳු ප්‍රශ්නයක්‌ ද නැගූහ.

"භාග්‍යවතුන් වහන්ස, මේ දඹදිව් තලය විවිධ ආගම් ශාස්‌තෲන්ගෙන් නොඅඩු දේශයකි. බොහෝ දෙනෙක්‌ තම තමන්සතු බල මහිමය ද දක්‌වන්නෝ ය. ඒ අතර රජ, සිටු, වෙළෙඳ ප්‍රභූන්ගේ සිත් ගත්, ඔවුන්ගේ පුද සත්කාර ලබන්නෝ ද වෙති. ඇතැම් කෙනෙක්‌ තමන් විවිධ දෙවි දේවතාවන්ගේ අවතාර ලෙස ද හඳුන්වා ගන්නෝය. බාහිර බලවේග මැඬලීමේ හාස්‌කම් දොඩන්නෝය. එබඳු මුල්බැසගත් මිථ්‍යාවන් අතර බුද්ධ නාමය දත් අය සිටිතැයි අපි නොහඟිමු. එයට දියහැකි සුවිශේෂ පිළිතුරක්‌ වන්නේද?"

බුදුන් වහන්සේට සිහිපත් වූයේ තමන් වහන්සේ විසින් උපක නම් ආජීවකයාට දෙන ලද පිsළිතුරය. එනම් තමන් දෙවියකු, බඹකු හෝ වෙනත් බලමහිමයකින් පහළ නොවූ මිනිසකු බවය. ඒ මනුෂ්‍යත්වය ආශ්චර්යමත් වූද, අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් මොනවට සුසැදි වූද එකක්‌ බවය. බුද්ධත්වය යනු ප්‍රඥාවෙන් ලද යුතු දෙයකි. මනුෂ්‍යත්වයට වඩා උතුම් හෝ ප්‍රබල කිසිවක්‌ නැති බව ද බුද්ධ වචනය විය. අනතුරුව උන්වහන්සේ මෙසේ පිළිවදන් දුන් සේක.

"මගේ දහම බුද්ධියේ අග්‍රඵලයක්‌ සේ පහදා දෙනු මැනවි. තමාට පිහිට තමාමය යන්න මවිසින් ඉඳුරා පසක්‌ කරන ලද්දකි. තම බුද්ධි මහිමය ඉවහල් කරගෙන විමුක්‌ති මාර්ගය දිගේ ගමන් කළ යුතුය. එය අනෙකකුගේ ප්‍රදානයක්‌ නොවේ. අන් අයකු විසින් නෙළන ලද ඵලයක්‌ බුදින අයුරින් එය පරිභෝජනය කළ නොහැක්‌කේමය. බුද්ධ යනු ඒ සත්‍යාලෝකයේ හිරුය. ඒ හිරු එළිය අඳුරු නසා ලොව එකෙලි කරන්නකි. මගේ ඉගැන්වීමේ ගැලවිලිකාර දෙවියෝ නොවෙති. තමාම තමාට පහනක්‌ වන බව මම දිගු සසර චාරිකාවකින් ප්‍රත්‍යක්‍ෂ කර ගත්තෙමි. එනිසා මේ ධර්මය තමා විසින්ම පමුණුවා දත යුතු ධර්මයක්‌ බවත්, ජනතාවට පහදා දීම වටනේය. එය ආශිර්වාදයෙන් ලද නොහැක්‌කේය. දුක දිනාගත හැක්‌කේ එය දුකක්‌ බව දැන ඉන් මිදෙන මඟ ඔස්‌සේ පමණි. එහි අවසානය නිවන හෙවත් නිවීමය. සත්‍යය යනු සත්‍යයමය. එය කාගෙන් කෙලෙස ලද්දක්‌ ද යනු සෙවීම නිර්මලය. අතැඹුලක්‌ හෙවත් නෙල්ලි ගෙඩියක්‌ අත්ලෙහි තිබෙන විට එයි තතු බැහැරින් සොයන්නෝ සිටිත්ද?"

බුදුන් වහන්සේගේ එම විග්‍රහය අවසානයේ උන්වහන්සේලා ප්‍රබෝධමත්ව සාදුකාර දුන්හ. සම්මා දිට්‌ඨ§ය යනු යථාර්ථවාදීව පහළවන්නා වූ පළමු ප්‍රඥාලෝකය බවද උන්වහන්සේලා සිතූහ. මේ පෘථග්ජන ලෝකය තුළ මේසා ප්‍රබල සද්ධර්ම මණ්‌ඩපයක්‌, මේ සා තෙදවත් සූර්ය මණ්‌ඩල දහසක්‌ පහළව තිබියදීත් ඒ සියලු අන්ධකාර නැසිය නොහැකි දැයි උන්වහන්සේලා සිතූහ. ඒකාන්තයෙන්ම මේ පුහුදුන් ජනයා සදහම් මඟට යොමු කරන්නෙමුයිද, දැඩිව සනිටුහන් කරගත්හ. බුදුන්ගේ ශ්‍රාවකයන් වන අපට සෙසු අයට ඒ දහම් තෝරා පහදා දී මේ ශක්‌තිය ද නොමඳව තිබෙන බවද උන්වහන්සේ සිතූහ.

ගාමිණි සුමනසේකර

2011 අගෝස්‌තු 21 ඉරිදා 9

තුන් බෑ ජටිලයෝ බුදුන් සරණ යති



ඒ වස්‌සානයේ අවසන් දින කීපයයි. අහස්‌ කුස නිල් වියනක්‌ සේ මනරම්ය. ළා හිරු එළිය ගලා එයි. සිහිල් මඳ නල මුසුව කුරුලු ගී ඇදෙයි. තුරු වදුලු කරළිය මන රඟන රිලා නැටුම් දැක වනමල් සිනාසෙයි. ගොපලු දරුවන් සමග ඇදෙන ගව රැළ අලුත් තණ බිම් සොයති. ගව කුර හඬින් සැලී වෙව්ලුම් ගත් යොවුන් මුව නාම්බකු හාත්පස නිරීක්‍ෂණය කර පිම්මේ වන ගැබට රිංගා ගත්තේය. මුව නාම්බා සිටියේ පෙර දින රැයෙහි පෙම් සටනකින් පරාජිතවය. ඒ යොවුන් මුව දෙනකු බෙදා ගන්නට කළ මාරාන්තික සටනකි.

වේලාසනින්ම පිබිදුණු සිදුහත් ගෞතමයෝ සමාධියෙන් මොහොතක්‌ වැඩ හිඳ ලොව දෙස බලන්නාහු උරුවේලා ජනපදයෙහි සිටින උරුවේල කාශ්‍යප නම් වූ ප්‍රමුඛ ජටිලතෙමේ හමුවන රිසින් එදෙසට ගමන් කරමින් සිටියහ.

උරුවේල කාශ්‍යපයන්ට නදීය, ගයා ය යන තවත් සහෝදර ජටිලයෝ දෙදෙනෙක්‌ ද වූහ. උරුවේල කාශ්‍යපට පන්සියයක්‌ද නදීකාශ්‍යපට තුන්සියයක්‌ද ගයා කාශ්‍යපට දෙසියයක්‌ ද වශයෙන් පරිවාර ජටිලයෝ ද වූහ. මේ දහසක්‌ දෙනාම මහත් ලාභ සත්කාර ලබති. අසල ගම්වල ජනතාවගේද ගම්පතියන්ගේ ද පුද සත්කාර ලබති. නොපිරිහුණු ඉසුරෙන්ද සපිරුණු කීර්තියෙන්ද යුතුව වසන ජටිලයෝ තමන් රහත්ය යන මුළාවෙන්ම විසුවෝය. බුදුහු උන්ගේ හේතු සම්පත් දිවැසින් දැක අනුකම්පාවෙන්ම ඒ ගමන ඇරැඹූහ. උන්වහන්සේට යම් ගමනක්‌ යුහුසුලුව යාමේ අභිලාෂයක්‌ වන්නේ ද එය තුරිත චාරිකා හෙවත් ඉක්‌මන් ගමනකි. එසේම එබඳු යුහුසුලු බවක්‌ නොමැති, පියවි ගමනින් යන්නේ නම් එය අතුරිත චාරිකා නම් වන්නේය. පියෙන් පිය ඔසවා ශාන්ත ස්‌වරූපයෙන් කෙරෙන අතුරිත චාරිකාවට බුදුහු ඉමහත් සේ ප්‍රිය කළහ.

උන්වහන්සේ උරුවේල කාශ්‍යපයන් හමුවීම සඳහා වැඩියේත් යුහුසුලු ගමනින් නොවීය. ස්‌වභාව ධර්මයේ සුන්දරත්වය උපේක්‍ෂාසහගතව විඳිමින් ද මඟ තොට හමුවන මගියන් හා වෙනත් සංචාරකයන් හමුවෙමින් ද ගමන් කළ බුදුහු පසු දින සවස්‌ භාගය වෙද්දීම උරුවේල කාශ්‍යපයන් සිටින අසපුවට නුදුරු නිල්තරා නදියෙන් ද එගොඩ වූහ.


බුදුන්වහන්සේ හෙමිහිට ගලා යන ගඟ දෙස මොහොතක්‌ බලා සිටියහ. අනතුරුව පියවර කීපයක්‌ ගමන් කර එහි වූ සඳුන් රුකක්‌ සෙවණෙහි නතර වූහ. සැන්දෑ අහස විසිතුරු රටාවලින් යුතු විය. ඉඳහිට ආවාස ගෙයකින් ඇසුණු ශබ්දයක්‌ විනා අන් කිසිදු හඬක්‌ ද නොවීය. තවත් ස්‌වල්ප වේලාවක්‌ ගෙවිණි. එකල්හි නිල්තලා ගංතෙරට එමින් සිටි උරුවේල කාශ්‍යප ජටිල තෙමේ බුදුන් දැක එහෙත් ඒ කෙබඳු අයෙක්‌දැයි නොදැන හිටිවනම සිට මෙසේ විමසූහ.

ඔබ මෙම ඉසව්වට ආගන්තුක ශ්‍රමණයකු සේ පෙනෙයි. එහෙත් ඔබගේ විලාසය අප තුළ පහන් සිත් වඩයි. තව ස්‌වල්ප වේලාවකින් අඳුර ද එළැඹෙන්නේය. කුමක්‌ අරභයා අපගේ අසපුවට පැමිණියෙහිදැයි දැන ගනු රිසිමි.

මම සිදුහත් ගෞතම වන්නෙමි. මම මේ දුර ගෙවා ඔබ උදෙසාම පැමිණියෙමි.

උරුවේල කාශ්‍යප ජටිලයන්ට සිතුණේ මේ තමන්ගේ අතවැසියෙක්‌ වනු රිසියෙන් පැමිණි අයෙක්‌ විය යුතුය. කිසියම් දායකයකු අතින් තමන්ගේ තතු දැන ප්‍රසාද සිත් ඇතිව පැමිණි අයෙක්‌ බවය.

අපිදු ආගන්තුක සත්කාරයෙහි රිසි වන්නෙමු. අග්නි පූජා නිමවා වේලාසනින්ම නින්දට යාම අපගේ පිළිවෙතය. මේ ලොව සියලු තන්හි අග්නි දෙවියන්ගේ බලමහිමයද වන්නේය. ඉදින් සියලු තතු දැන අප සොයා පැමිණි ඔබට කෙසේ පිටුපෑ හැකිද? බුදුහු එය තුෂ්ණිම්භූතව ඉවසා මෙසේ වදාළහ.

ඉඳින් ඔබ කැමැත්තෙහි නම් නුදුරින් පෙනෙන ගෙය අපට රාත්‍රියට යෝග්‍ය වන්නේය.

එබසට සිනාසුණු ජටිල තෙමේ කියන්නේ, ඔබ ඒ ගෙයි තරම නොදන්නෙහිය. එය එසේ මෙසේ ගෙයකැයි සිතන්නෙහිද? එය අපගේ ගිනිගල් ගෙයයි. ගිනිහල් ගෙය පසුගිය සීත කාලය තුළම අපට සහන දුන් ස්‌ථානයයි. දැන් වැසි මඳය. එනිසාම එය අප රක්‌නා මහා නාගයාගේ විසුම්පාය සේ වෙන් කර ඇත. තවද ඒ නාගයෝ මහත් තෙද බල ඇත්තෝය. දරුණු විස යුත්තෝය. කෝපාවිෂ්ට වුවහොත් උන් මුවින් විෂ දුම් නැගෙයි. ඒ මාරාන්තික අනතුරකි. ඉදින් ඔබ වැනි සෞම්‍ය අයකුට එය යෝග්‍ය නොවේ යෑයි කරුණු පැහැදිලි කළේය.

බුදුහු ඒ කිසිත් නොතකමින්ම තොපට බරක්‌ නොවන්නෙහි නම් ඒ ගිනිහල් ගෙය අපට දුන මැනවැයි යළිත් වදාළහ. එවේලේ ජටිල තෙමේ සිතන්නේ මෙලෙස තතු දක්‌වාත් අකීකරු විලස්‌ දක්‌වන්නේ උඩඟු හෙයින් යෑයි සිතා නාගයා ලවා පාඩමක්‌ උගන්වමියි සිත සඟවා පා අගෙයි ඔබගේ අභිමතය එයම නම් එසේ කරනු මැනවැයි කීවේය.

බුදුහු සන්සුන්ව ගිනිහල් ගෙය තුළට වැඩ එහි තමන් වහන්සේගේ සිවුරක්‌ නමා අතුරා වැඩ සිටියහ. ජටිලයන්ගේ මහානුභාව සම්පන්න නාගයාද එහි වැඩ සිටින බුදුන්වහන්සේ දැක, බුදු බලමහිමය නොදන්නේ කෝපයට පත්විය.

මෙවේලෙහි උරුවේල කාශ්‍යප පසු වූයේද කවර අවස්‌ථාවකදී හෝ ඒකාන්තයෙන්ම සිදුහත් ගෞතමයෝ සරණ සොයා දිව එතැයි යන සිතිවිල්ලේය. ඔහුට නිදිමතද නොවීය. කුහුල් සිතින් ගිනිහල් ගෙය දෙස බලමින්ම රැය ගෙවන ඔහු එක්‌වරම දුටුවේ එයින් නැගෙන ගිනි ජාලා බඳු විෂ දුමාරයන්ය. ඒ ගිනිහල් ගෙය තුළ නාගයා විෂ දුම් යෑවීම අරඹන ලද මොහොත විය.

සිදුහත් ගෞතමයෝ එවේලෙහි මෙසේ සිහි කළහ.

මේසා කාලයක්‌ මට වනයෙහි විසූ කුරා කුහුඹුවකුගෙන් තරම්වත් පීඩාවක්‌ නොවීය. මා බුද්ධත්වයට පත් කල්හි එක්‌ නාරජෙක්‌ මා මහ වැසිවලින් තෙමෙනු වැළැක්‌වීමට මා සිරුර වටා සිටියේය. වෙනත් සිව්පාවෝද උරගයෝද මා යන එන මඟක හෝ නොවූහ. නාග, පොළොං, මාපිල්, පිඹුරු ආදීන් අතර නාග විෂ බහුල වුවද නාගයෝ නම් තමන්ට පීඩාවක්‌ නොවන තාක්‌ දෂ්ට නොකරන්නාහ. එහෙත් මේ නාගයා අමුතුය. එයට හේතුව මේ ජටිලයන්ගේ ඇසුර විය යුතු යෑයි සනිටුහන් කර නාග බලය දුබල කිරීමට තරම් වූ කිසිදු පීඩාවක්‌ නොවන්නාවූ දුමාරයක්‌ නාගයා වෙත Rද්ධි බලයෙන් යෑවූහ. ඒ උගේ අහංකාරය බිඳිලනු පිණිසය.

ඒ දුමාරය නාගයාගේ දුමාරය මැඩ නාගයාට පීඩාවක්‌ නොකරම ඌ අසල ගැවසිණි. කෝපාවිෂ්ට වූ නාගයා මහත් සේ විෂ දුමාර පිට කළේය. පිටත සිට බලන කවරකුට වුවද ඒ ගිනිහල් ගෙය ගිනි ගන්නා විලාසයක්‌ම පෙනෙන්ටද විය. මැදියම් රැය වන තුරුම නිදි වර්ජිතව සිටි උරුවේල ජටිල තෙමේද ගිනිහල් ගෙය ඇවිළෙන්නේ යෑයි මහත් වික්‍ෂෝභයට පත්විය.

බුදුන්වහන්සේ එළවා දමමියි අහංකාර පර්වශ වූ නාගයා ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ හෙයින් මහත් සේ වෙහෙසට පත්ව පීඩිතව ගිනිහල්ගෙය කෙළවරකට වී සිටියේය. බුදුහුද රාත්‍රිය කිසිදු අපහසුවකින් තොරව ගෙවූහ. මේ විපර්යාස නොදත් ජටිල නායකයා උදැසනම අවදිව ගිනිහල් ගෙය දෙසට ආවේය. රැයෙහි ගෙය වසා නැගුණු ගිනි නිවී තිබුණි. එහෙත් හාත්පස ගිනි අඟුරක්‌ හෝ නොදැක කුහුල් සිතින්ම ගිනිහල් ගෙය දොරකඩටම ගොස්‌ නතර විය. සිදුහත් ගෞතමයෝ ගිනිහල් ගෙයි සිටිත්ද නො එසේ නම් එයින් පිටතට ගොස්‌ සිටිත්දැයි සිතන විටම බුදුහු ඔහු අබියස පෙනී සිටියහ. ජටිල නායකයා ඈත් මෑත් බලමින් නාගයා සෙවීය. ඒ බව දත් බුදුහු "කාශ්‍යප කුමක්‌ හෙයින් විමසිලිමත්ව සිටින්නේදැයි" විමසූහ.

ඉක්‌බිති බුදුන්වහන්සේ ඔහුට පාත්‍රයෙහි සන්සුන්ව හිඳිනා නාගයා පෙන්වූ සේක. එක්‌ වරම විස්‌මයට පත් ජටිල තෙමේ හුස්‌ම පොද පහතට නොහෙළාම එදෙස බලා සිටියේය. ඔහු තුළ ලැඡ්ජාවක්‌ද වැඩුණි. එහෙත් ඒ බවක්‌ නොහඟවාම මෙසේ කීය.

ඔබ නාගයින් දමන ශිල්පයෙහි වෙසරද බවක්‌ හැඟෙයි. නොඑසේ නම් මේ නාරජුන් මෙලෙස හීලෑ කරගත නොහැක්‌කේය. මේ නාගයා අපට නම් මිත්‍රය. අප රහත්ව සිටිනා හෙයින් අපට බිය වන්නේය. මේ අප උන්ගේ මෙබඳු ප්‍රතිචාරයක්‌ දුටු පළමු අවස්‌ථාව වන්නේය.

නාග දමනයෙන් පසු කාශ්‍යපයන් තුළද උන්වහන්සේ පිළිබඳ ප්‍රසාදය තවත් වැඩුණි. එහෙත් කිසිවිටෙක බුදුන්වහන්සේ තමන්ට වඩා බලවත් හෝ උතුම් අයෙක්‌ සේ නොසිතුවේය. එසේම කිසියම් ආනුභාවයක්‌ සහිත ශ්‍රමණයෙක්‌ ලෙස උන්වහන්සේ කෙරෙහි බැඳීමක්‌ ද ඇති විය. එනිසාම තම අසපුවේ කැමැති කලක්‌ නතර වන ලෙස ආරාධනාවක්‌ද කළේය.

බුදුහු ඔවුන්ගේ ආරාධනාව පිළිගෙන එහි දින කීපයක්‌ම වැඩ උන්හ. එසේ වැඩසිටි උන්වහන්සේ අලුයම පිබිද මුවදොවා පිණ්‌ඩපාතය පිණිස නුදුරු ගමටද වැඩියහ. ඒ බව දුටු කාශ්‍යපයන් කියන්නේ කුමක්‌ නිසා සිඟා යන්නෙහිද? ආගන්තුක ඔබ රැකීම අපගේ බැඳීමය. එහෙයින් ගමට නොයනු මැනවැයි දැන්වීය.

බුදුහුද ස්‌නේහයෙන් කරන ලද යෝජනාවක්‌ බව දැන එය පිළිගත්හ. බුදුන්වහන්සේ එහි වැඩ සිටිනා අතරම අසපුවෙහි යම් යම් හාස්‌කම් ද විය. දිනක්‌ රාත්‍රියෙහි බුදුන්වහන්සේ අසල රන්වන් ආලෝක ධාරාවන් සතරක්‌ විය. ඒ සතරවරම් දෙවිවරුය. උරුවේල එය දැක විමසා ඒ දෙවිවරු බව සැක හැර දත් නමුදු එයින් හෝ බුද්ධ මහිමය ගැන නොසිතීය. තවත් දිනක ජටිල ශ්‍රාවකයන් ගිනි දෙවි පූජාව සඳහා දර පළමින් සිටියදී බුදුන්වහන්සේ එක්‌වර සෘද්ධි බලයෙන් ඒ සියලු දර පළා දුන්හ. කාශ්‍යප එයින් ද නොවෙනස්‌ විය.

මෙසේ විවිධ ප්‍රාතිහාර්ය දැක්‌වුවද උරුවේල කාශ්‍යපගේ සිත බුදු මහිමය පිළිබඳව නම් යොමු නොවීය. අවසානයේදී බුදුහු කාශ්‍යපයන්ට දහම් දෙසීම යෝග්‍ය යෑයි සිතා ඔහු සොයා ගියහ. ජටිල තෙමේද බුදුන්වහන්සේ සමග සංවාදයකට රිසි විය. එයට හේතු වූයේ ඒ වන විට කාශ්‍යප බුදුන්වහන්සේ පිළිබඳව ඉමහත් ප්‍රසාදයට පත්ව සිටීමය. බුදුහුම කාශ්‍යපට පළමු ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

කාශ්‍යපයනි, ඔබ බ්‍රාහ්මණ සංස්‌කෘතියෙහිද එයට අයත් සිව්වේදයෙහිද පාරප්‍රාප්aත වූ අයෙකැයි හඟිමි. බ්‍රාහ්මණයෝ ස්‌වභාවයෙන්ම වාදයෙහි සමත් වන්නාහ. ඔබ විසින් අඛණ්‌ඩව පවත්වනු ලබන ගිනි දෙවි පූජාව පිළිබඳව තතු විස්‌තර දැනගනු රිසිමි. එසේම එය පුද්ගල විමුක්‌තියට හේතු වන ආකාරයද දක්‌වනු මැනවි.

උරුවේල කාශ්‍යපයෝ සිතන්නාහු මේ සිදුහත් ගෞතමයෝ පැණසැරයහ. සෘද්ධි ප්‍රාතිහාර්යෙහිද අගතැන්පත්ව සිටිති. සංවර සීලයෙන්ද යුතු වන්නාහ. එහෙයින් ඔවුන්ට සාමාන්‍ය පිළිතුරක්‌ නොසෑහෙන්නේමය. සරලව මෙන්ම ගැඹුරින්ද එක්‌ නයින් නොව දහසක්‌ නයින්ද තාර්කිකවද ප්‍රබලවද සාධක සහිතව ද පිළිතුරු දිය යුත්තේය. අනතුරුව මෙසේ කීවේය.

අග්නි හෙවත් ගින්න මේ ලෝක ධාතුවේ සියලු මැවුම් ද නිමැවුම්ද සඳහාම වේ. ගින්නෙන් තොරව මේ ලෝ ධාතුව නොපවතී. එහි උපත බ්‍රහ්මයාගේය. අග්නි දෙවියන් පූජා කරන අපි ඒ මහා බලයට උපහාර කරන්නෙමු. ගිනි දැල්වීමෙන් අඳුර නැසෙයි. පොළොව උණුසුම් වෙයි. සත්ත්වයාගේ පැවැත්මට එරෙහි සියලු විස ගිනිවලින්ම නැසෙයි. එනිසා අග්නි ජීවය සේ අපි සලකන්නෙමු. ගිනිදෙවියා පුදන කෘතවේදී ජනයා ඒ සඳහා යාග හෝම පවත්වයි. අපගේ විමුක්‌ති මාර්ගය ඒ අග්නි පූජා ඔස්‌සේම ලද සැපතක්‌ සේ හඟිමි.

බුදුන්වහන්සේ නිශ්ශබ්දව සියල්ල ශ්‍රවණය කර මෙබඳු පැනයක්‌ද නගති.

කාශ්‍යප, මේ ජනපදය හැර තවත් ජනපද තිබේ. ඒ ඇතැම් ජනපදයක වැසියෝ ජලයට පූජා කරති. ජීවයේ හරයද සත්ත්වයාගේ පැවැත්මද ජලය සේ ඔවුහු සලකති.

මම ඔබට අපූරු කතාවක්‌ද කියමි. පෙර දිනක මට විමුක්‌තිය උදෙසා සිත කය පවිත්‍රීකරණය සඳහා ජලයෙහි ගිලී සිටින අයද හමු වූහ. මා ඔවුන් විමසූ කල්හි ඔවුන්ගේ පිළිතුර වූයේ පව් සෝදා හැරීමට එසේ සිටිනා බවයි. එවිට මම ඔවුන්ගෙන් මෙසේ විමසීමි. ඔබගේ පිළිතුර සත්‍යයක්‌ නම් මේ ජලයෙහිම නිරන්තරව වාසය කරන මසුන්, ඉදිබුවන් ඇතුළු ජලචරයෝ පවිත්‍ර නොවෙත්ද? එකල්හි ඔවුහු ලැඡ්ජාවට පත්aව මා සමග එකඟ වූහ. ගින්න, ජලය මෙන්ම වාතය ඇතුළු ලෝකයේ පැවැත්මට වුවමනා දේ වෙනම පවතී. ඉදින් ඒ අතරින් ගින්න වෙසෙසා පිදීමේ අරුතක්‌ මට නොපෙනේ.

එකල්හි කාශ්‍යපයෝ නිරුත්තර වූහ. බුදුන්වහන්සේ දැක්‌වූ යථාර්ථය පිළිබඳව සිය සිතද යොමු කළහ. ඔහුට තමා තුළ වෙනස්‌ සිතිවිලි නැගෙන අයුරු දැනුණි. ගිනි, ජලය, වාතය, උණුසුම, හිරු, සඳු, පෘථිවිය යනාදී සියල්ලම සමතුලිතව ලොව පවතින බවද ඔහුට පෙනුණි. ජීවීන්ගේ පැවැත්මට මේ සියල්ල බලපාන බවද ඔහු මුල්වරට සිහි කළේය.

අනතුරුව බුදුහු කාරුණික වදනින් ඔහු ඇමතූහ. කාශ්‍යප කෙමෙන් යථාර්ථවාදී මගටද සම්‍යක්‌ දෘෂ්ටියටද එළැඹෙන වග උන්වහන්සේ දුටහ. ඔහුගේ අභිමානයද මමංකාරයද පහවී යන සෙයක්‌ උන්වහන්සේට පෙනුණි.

කාශ්‍යපය, ගිනි දෙවියන් පූජා කිරීමෙන් ලද හැකි විමුක්‌තියක්‌ නැත. මම ඔබට පුද්ගල පැවැත්ම පිළිබඳ සිතා බැලීමට කරුණු කීපයක්‌ දක්‌වමි. ඒවා විදුහුරු යෑයි හැඟේ නම් විමසා බලනු වටී.

කාශ්‍යපයන්ට තවත් බුදුන්වහන්සේ සමග සමපෙළට අසුන් ගත නුහුණු වූයේ වහා නැගී සිට මෙසේ කීවේය.

දැන් මට ඔබවහන්සේගේ බුද්ධ මහිමය දැනෙයි. බුද්ධ ඥනය කෙබඳුදැයි හැඟෙයි. මා විසින් දල්වන ලද ගිනිවලම දුමාරයෙන් මගේ දැස්‌ මුළාවූ වගද දැනෙයි. වහන්ස මම ඔබ විමුක්‌ති මග දැන එහි අනුගාමිකයකු වග රිසිමි. ඔබ මා කමා කරවා මට ඒ විමුක්‌ති දහම දෙසනු මැනව.

අනතුරුව බුදුන් දෙපා වැඳ මෙබඳු ආයාචනයක්‌ද කළේය.

"කමා කළ මැනවි. මම මහත්ම මුළාවක පසුවීමි. මගේ මෝහය කෙතරම්වීද යත් මම කිසිවිටක ඔබවහන්සේගේ ආශ්චර්ය ක්‍රියාවකින් වෙනස්‌ නොවීමි. ඒවා කිසියම් මායා බලයකින් කළ දේවල් යෑයි ද සිතීමට මම වඩාත් ප්‍රිය වීමි. අධිමානයෙන්ද, අවිද්‍යාවෙන්ද අඳුරටම මම ගියෙමි. ඔබ වහන්සේ මා කරා පැමිණ මෙලෙස වාදාභිමුඛ නොවූ සේක්‌ නම් මම තවමත් මුළාවම සිටිමි. මේ ලෝකයේ හිරු දහසක්‌ නැගී තිබුණද ඒ ආලෝකය නොලබා, එදෙස්‌ නොබලාම අඳුරේ සිටින්නෝද වෙති. ඔබ වහන්සේ බඳු සූර්ය මණ්‌ඩලයකට පිටුපා ගිනිදැල්වූ මම මා කෙරෙහිම ල-ජා වන්නෙමි. දැන්වත් මා කෙරෙහි අනුකම්පා කර ඒ සත්‍යාලෝකය මට ලබා දුන මැනවැයි" ආයාචනා කළේය. එවේලෙහි බුදුහු මෙලෙස වදාළහ.

කාශ්‍යපය, ඔබ සමග තවත් දහසකට නොඅඩු පිරිසක්‌ සිටිති. ඔවුහු ඔබගේ වචනයෙහි පිහිටියෝය. ඔබගේ අනුශාසනයෙහිම බැඳුණෝය. ඉදින් නායකයකු ලෙස ඔබ ඔවුන්ද සමග කතිකා කර, මේ තතු දන්වා මා වෙතට ඒම වඩාත් උචිත නොවේද?

කාශ්‍යප ජටිල තෙමේත් ඒ වදන් අසා තම යුතුකම මේ තතු ඔවුන්ටද පැවැසීම යෑයි සනිටුහන් කර ගත්තේය. අනතුරුව සිය පරිවාර ජටිලයන්ටද මෙතෙක්‌ දවස්‌ තමන්ගේ අසපුවෙහි නොයෙක්‌ හාස්‌කම් පාමින් වැඩිසිටියාහු බුදුන්වහන්සේ බව දැන්වූහ. ඔවුහු සියල්ලෝම සත්‍යාලෝකය මැනවැයි කීහ.

අනතුරුව ජටිලයෝ තමන් හිස්‌ වටා බැඳ තිබුණු ජටා මණ්‌ඩල මුදවා ඒ අසලින් ගලා යන නිල්තලා නදියටම වීසි කළහ. හිස කෙස්‌ බූගා දැමූහ. රැවුල් ද බා දැමූහ. උරුවේල කාශ්‍යප ප්‍රමුඛ සියලු දෙනාම ජටිල වෙස්‌ හැර පැවිදි වූහ.

මෙසේ ඔවුන් විසින් මුදාහරින ලද ජටා මඬුලුද තවුස්‌ වස්‌ත්‍ර හා වෙනත් අඩු වැඩිද ගඟ දිගේ පහළට ඇදුණි. ඒ නිල්තලා ගං තීරයේම පහළ උරුවේල කාශ්‍යපයන්ගේ සහෝදරයෝද ආශ්‍රමයන් ඉදිකර වාසය කළහ. ඔවුහු මෙලෙස පාවී එන සියලු දේ දැක බියට ද කුතුහලයටද පත්ව වහාම සිය දෙටු සොයුරු වසන උරුවේල අසපුව වෙත පැමිණියහ. එහිදී ඔවුන් දුටුවේ කසාවතින් සුදිලෙන පිරිසකි. තවත් තතු විමසීමක්‌ද අවශ්‍ය නොවූයෙන් නදී, ගයා යන ජටිල දෙබෑයෝද ඔවුන්ගේ පිරිවරද බුදුන්වහන්සේ කෙරෙහි පැහැදී පැවිද්ද අයෑද සිටියහ. බුදුහු සියලු දෙනාටම පැවිද්ද ලබා දුන්හ.

දැන් බුදුහු තමන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ප්‍රමුඛ දහසක්‌ භික්‍ෂුන්වහන්සේලා සමග වැඩ වසති. දිනක්‌ උන්වහන්සේ දහවල දානයෙන් පසුව ඒ සියලු දෙනාම ගයා වෙහි එක්‌ ගල් තලාවක්‌ වෙත කැඳවූහ. එහිදී ඔවුන් සියලු දෙනාම අරමුණු කර ගනිමින් බුදුහු ගින්න උපමා කරගත් ආදිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසූහ. එහිදී උන්වහන්සේ පුද්ගලයා තෘෂ්ණා ද්වේෂ, මෝහ, භය යනාදී ගිනිවලින් දැවෙන බවද එගිනි නිවීම විමුක්‌තිය බවද විස්‌තර කළහ. මිනිසා තුළ දැල්වෙන ගින්න නිවීමේ මග නිසැකයෙන්ම ගිනි දෙවියා පිදීමේ ව්‍රතයට හුරුව සිටි පිරිසකට මැනවින් ගැළපෙන අයුරු බුදුහු දුටහ. ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව ඇසූ ඔවුන් සියලු දෙනාම රහත් භාවයට ද පත්වූහ.

ගාමිණි සුමනසේකර