සියලු යාදිනිද ඇමතුම්ද සිදුහත් ගෞතමයන්ගේ සවන් අසලට තරම්වත් ළං නොවීය. ඒ කාම සිතිවිලි ග්‍රාම්‍ය, ළාමක, නොමනා දෙයක්‌ බව සිදුහත්ට පසක්‌ වූයේ ඇසළ සැණකෙළි මැද රැය ගෙවද්දීය. එකල එහි සිටි ලියෝ මනරම් වූහයි සිතන්නට පවා සිදුහත් නොරිසිවිය. එදා ඔවුන්ට සිතුනේ ඒ නාටිකාංගනාවෝ සසර මැද අටවන ලද බිහිසුණු උගුලක්‌ සේය.

2012 පෙබරවාරි 12 ඉරිදා - 33

බුදු සිරුරෙන් යළිත් රශ්මි මාලා විහිදෙයි!



චුන්ද ආපසු එද්දී මැදියම් රැයටද ආසන්න විය. ඔහුගේ පියඹ ද දරුවෝද මැදුරෙහි අනෙක්‌ සේවකයෝ ද ඔහු එන තුරුම නොනිදා සිටියහ. සියලුදෙනා තුළම වූයේ කුහුලකි. ඒ බුදුහු කවරහුදැයි යන කුහුල් සිතය. චුන්ද තුළ වූයේ ද කිව නොහැකි තරම් සතුටකි. එක්‌ හේතුවක්‌ වූයේ බුදුන් වහන්සේ පසු දින තම මැදුරට දනට වැඩීමය. අනෙක බුදුන් වහන්සේ නිසා උපන් අප්‍රමාණ සතුටය. බුදුන්වහන්සේගේ දේශනා විලාසය මෙන්ම විශාරදත්වයද චුන්දගේ සිත තදින් ඇද බැඳ ගත්තේය.

"මං මේ වගේ අසාමාන්‍ය ශාස්‌තෲවරයෙක්‌ දැකල නෑ. මේ දඹදිව බුදුන් කියල කියන කී දෙනෙක්‌ නම් ඉන්නවද? ඒත් මේ බුදුන් හා ඒ බුදුන් යෑයි කියන අය අහසට පොළව වගේ. මට ඇත්තටම ඒ බුදු මහිමය විස්‌තර කරන්ට බෑ. උන්වහන්සේගෙ ශාන්ත විලාසය, ඉන්ද්‍රිය සංවරය, එය වචන නිරහංකාර බව වචනවලින් විස්‌තර කරන්ට බෑ. කවියකුට උනත් උන්වහන්සේට උපමා අලංකාර සොයන්ට බෑ. මේ අහස, පොළව, සයුර, නෙවෙයි විශ්වයේ ම සියල්ල ඒ බුදු මහිමයට පරාදයි. එහෙව් බුදු ගුණ මං වගේ කෙනකුට හිතන්ට පුළුවන්ද? ඒ මොනව උනත් තව හෝරා කීයද තියෙන්නේ හිරු උදාවෙන්ට. මේ කාගෙත් පෙර පින් තිබුණා. ඒ හින්දයි උන්වහන්සේ මගේ ආරාධනාව පිළිගත්තෙ. දැන් අපි ඒ ගැන වෙහෙස වෙමු. ඒ පින්කම ඉහළින්ම පවත්වන්ට.

චුන්දගේ විස්‌තරය ඇසූ පිරිස සිය කුතුහලය සංසිඳවා ගැනීම වෙනුවට එය තව තවත් වර්ධනය කර ගත්හ. ඇතැම් කෙනෙකුට සිතුනේ එක්‌වරම රාත්‍රිය පහන් වේ නම් කොතරම් අගේද යන්නය.s ඉනික්‌බිති චුන්දගේ මැදුර තුළින් දිස්‌ වූයේ යුහුසුළුව ඒ අතට මේ අතට දිව යන්නෝය. තන්හි තන්හි නොයෙක්‌ ක්‍රියාකාරකම්වල නිරත වන්නෝය. චුන්ද වහාම පිරිස්‌ කැඳවා මැදුරෙහි පහත මාලය හිස්‌ කරවා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට ආසන පැනවීය. මැදුර ඉදිරිපස තාවකාලික මණ්‌ඩපයක්‌ ඉදිකරවා එහි ලියකම්, මල්කම් යනාදියෙන් සරසන ලෙසටද නියෝග කළේය. මැදුරට පිවිසෙන මාවත සුදු වැලි අතුරවා, පුන්කලස්‌ තබවා මහත් සැණකෙළියක්‌ සෙයින්ම අලංකාර කිරීමටද පිරිස්‌ යෙදවීය. මන්දිරය අබියස ආරුක්‌කු හැඩයෙන් යුතු දර්ශනීය තොරණක්‌ ද මග දෙපස වෙනත් තොරන් ද ඉදිකරවීය. මේ කලබලය ඇසූ නුවර වැසියෝ ද රැය නොබලා මේ කුමන අරුමයක්‌ දැයි විමසන්නා හු බුදු පෙරහරකැයි දැන ප්‍රමුදිතව ඒ කටයුතුවලට එක්‌වූහ. මැදුර හා මඟ දෙපස විසිතුරු කළ පිරිස්‌වලට අමතරව සංගීත හා ගායනයෙහි සමත් කලාකරුවෝ ද එතැනට රොක්‌ වූහ. ඔව්හු බුදුගුණ තේමා කළ මනහර ගී එවේලේම ප්‍රබන්ධ කරවා ගායනා කරවීමටද සූදානම් කළහ.

මේ අතර මුළු නුවරම නම්ගත් සුපවේදීහු ද මැදුරෙහි වූහ. ඔවුන්ගෙන් කෙනෙක්‌ බුදුන් ප්‍රමුඛ පන්සියයක්‌ පමණ වූ සංඝයා වහන්සේ සඳහා පලතුරු යුෂවලින් පාන වර්ග ද සැකසූහ. ප්‍රණීත ගිලන්පස සූදානම් කළහ. ඛාද්‍ය භෝජ්‍ය එසේ සැකසෙද්දී චුන්දගේ සිතට නැඟුණේ බුදුන් ප්‍රමුඛ පිරිසට විශේෂ ව්‍යංඤනයක්‌ සකසා පූජා කළ යුතු බවය. හේ ප්‍රධාන සුපවේදියා කැඳවා උපදෙසක්‌ පැතීය. එහෙත් ඔහු කීවේ දානය සඳහා සියල්ල මනාවද උත්කර්ෂවත් ලෙසද සංවිධානය කර තිබෙන බවය. අබැටක තරම් අඩුවක්‌ නොමැති බවය. සැබැවින්ම චුන්දගේ දානය ඒ සා අනර්ඝ එකක්‌ම විය. එහෙත් චුන්දට එක්‌ වරම යමක්‌ සිහි විය. ඒ අතිශය දුර්ලභ වූ සූකර මද්දව නම් ඖෂධීය හතුවලින් සැකසෙන ව්‍යංඤනයකි.

සුපවේදියාද සූකර මද්දව ව්‍යංඤජනය ගැන මනාසේ දනී. මේ ඖෂධීය හතු විශේෂය ඌරන් ලහින මඩ වගුරුබිම්වල ඌරු මළ හා මුත්‍රා නිසා හටගන්නකි. එහෙත් මැදියම් රැයෙහි මතුවන ඒවා අලුයම හිරු නැගෙනවිටම සූකරයන්ගේ ඇස ගැටීම නිසා කිසිවිටෙක පහසුවෙන් ලබා ගත නොහැකි බවද ඔහුට සිහි විය. මේ ආකාරයටම වැඩෙන අජ මද්දව හා ගෝ මද්දවද තවත් දුලබ ඖෂධීය හතු විශේෂයන්ය. එළුවන්ගේ පයට පෑගී එළු මළහා මුත්‍ර නිසාම මතුවන අජ මද්දව ද ප්‍රබල ඖෂධයකි. ගව මද්දවද එබඳුමය. කෙසේ හෝ මේ කවර මද්දව විශේෂයක්‌ ලබා ගැනීම වුවද කන කැස්‌බෑ විය සිදුරෙන් අහස දැකීම වැනි අසාමාන්‍ය වූද අසීරු වූද දෙයක්‌ බව චුන්ද හොඳින් දනී. එහෙත් ඔහු සුපවේදියා ද කැටුව මැදුරෙන් මදක්‌ ඔබ්බට ගොස්‌ අසල වූ සූකරයන් ගාල්කරන ස්‌ථානයක්‌ හෙවත් ඌරු ගාලක්‌ වෙත ගියේය. චුන්ද මවිතයට පත් වූයේ ඒවනවිටත් ගොහොරු මඩින් මතුව රිදී පැහැයෙන් දිලෙමින් තිබුණු සූකර මද්දව පැළෑටි දැකීමෙනි. සුපවේදීයාටද එය අදහාගත නොහැකි විය. අනතුරුව දෙදෙනාම එක්‌ව ඒ සියල්ලම නෙලා ගත්හ. දෙදෙනාම මහත් සේ ප්‍රබෝදයෙන් ආපසු ගොස්‌ සූකර මද්දව ව්‍යංඤජනය ද සකසා දානයෙහි සියලු කටයුතු= අවසන් කළහ. 

ඉක්‌බිති හිරු නැඟී ස්‌වල්ප වේලාවකට පසු බුදුහු භික්‍ෂු සංඝයා සමග චුන්දගේ මැදුරට වැඩියහ. මේ බුදු පෙරහර දැක ගැනීමට මග දෙපස මහත් ජනකායක්‌ ද එක්‌ව සිටියහ. බුදු ගුණ ගැයුම් හා මුසු වූ සංගීතයද ඇසූ ඇසූවන් දුක්‌ නිවන්නක්‌ම විය. ඒ මධුර තාල වාදන හා මුසු ස්‌වර මද නල සමග පෑහෙමින් ඈතින් ඈතටම ගියේය. දෙව්ලියන්ටද ඒ ගී සර ඇසුණි. බුදුහු ඒ සියල්ල උපේක්‍ෂාවෙන් ඉවසා වදාරමින්ම චුන්ද මැදුරට වැඩියහ. මැදුරෙහි සිටි සියල්ලෝම පා ඇඟිලි හිට නැඟෙමින් බුදුන්ගේ මුව මඩල දැක ගන්ට නොඉවසිලිමත් වූහ.

චුන්ද සිය පියඹ හා දරුවන්ද සමීප නෑයන්ද සමග බුමුතුරුණක හිඳගෙන සිටියේය. බුදුහු චුන්ද තමන් වහන්සේ වෙත කැඳවා ඔහු විසින් විශේෂයෙන් සකසන ලද සූකර මද්දව ව්‍යංජඤනය පිළිබඳව විමසූහ. 

චුන්දයිනිá ඔබගේ සූකර මද්දව ඖෂධීය ආහාරය මට පමණක්‌ පිළිගන්වන්න. එය වැළඳීමට යෝග්‍ය වන්නේද බුදුවරයකුම පමණි. එසේ මා වළඳවා ඉතිරි වන යමක්‌ ඇද්ද එයත් කිසිදු පූජකයකුට භුක්‌ති විඳීමට අවකාශ නොතබා මහ පොළොවේම වළලා දැමීම සුදුසුය. අනෙක්‌ සියලුම ඛාද්‍ය භෝජ්‍ය සියලුම සංඝයා වහන්සේලාට පිළිගැන්වීම මැනවි.

බුදුන් වහන්සේ විසින් ලබා දෙන ලද උපදෙස අකුරටම ක්‍රියාත්මක කළ චුන්ද තුළ කිසියම් කුහුලක්‌ ද වැඩුණි. බුදුහු ද එය දුටහ. එහෙත් ඒ පිළිබඳව පසුව විග්‍රහ කිරීමටද සනිටුහන් කර ගත්හ. දානමාන කටයුතු මනාව ඉටු විය. බුදුහු අනුමෙවැනි බණක්‌ ද දෙසීමෙන් අනතුරුව මැදුරෙන් පිටතට වැඩීමේ රිසියෙන් ආනන්ද හිමියන් දෙස බැලූහ. ආනන්ද හිමියෝ සැණෙකින් පැමිණ පාත්‍රය අතට ගත්හ. සාදුකාර හඬින් මැදුර ගිගුම් දුනි. චුන්ද හා පවුලේ සමීපතම අයද වෙනත් ප්‍රභූහු ද යළිත් බුදුන් වහන්සේට නමස්‌කාර කළහ. බුදුහු සන්සුන් ගමනින් වැඩියහ. 

බුදුහු කුසිනාරා නුවරට වැඩීමේ අපේක්‍ෂාවෙන් සිටිතියි දත් ආනන්ද හිමියෝ යළිත් ඒ පිළිබඳ නොවිමසාම ගමන ඇරඹූහ. දැඩි හිරු රැස්‌ නිවී සැඳෑ කාලයට ළං වෙමින් තිබුණි. බුදුන් වහන්සේ කිසියම් අපහසුතාවකින් පීඩා විඳින බව ආනන්ද හිමියෝ දුටුවෝය. 

"භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ මුහුණින් දැඩි විඩාපත් බවක්‌ද සක්‌මනෙහි අසීරු බවක්‌ද දිස්‌ වෙයි. කිසියම් ශාරීරික අපහසුතාවක්‌ දැයි කුහුලකි. කළමනා පිළියමක්‌ වේ නම් නොපමාව කරනු රිසියෙමි. එහෙයින් එබඳු අමුත්තක්‌ වන්නේ නම් වදාරනු මැනවි. ආනන්ද හිමියන්ගේ අනුමානය නිවැරැදිය. ඒ වනවිට බුදුන් වහන්සේට යම් අසීරුතාවක්‌ දැනෙමින් තිබුණි. ඒ වේදනාව නැඟෙන්ට වූයේ උදරයෙනි. එසේම උන්වහන්සේගේ පිට දිගටද වේදනාවක්‌ විහිදී යමින් තිබිණි. සාමාන්‍යයෙන් බුදුවරයකුට තම සිරුරට දැනෙන ඕනෑම අපහසුතාවක්‌ මැඩලීමේ ප්‍රබල ආධ්‍යාත්මික ශක්‌තියක්‌ද වෙයි. මෙයට පෙර උන්වහන්සේට දැනුණු ඇතැම් අසීරුතාවන් මැඩලීමටද හැකි වූයේ ඒනිසාය. එහෙත් බුදුහු එබඳු සමාධි බලයකින් සිරුර සුවපත් කිරීමට නොරිසි වූහ. උන්වහන්සේ නිතරම කළ අවධාරණය වූයේ අනිත්‍ය හෙවත් වෙනස්‌ වන බවය. ඒ ස්‌වභාවය බුදුවරයකුට වුවද සාධාරණ බව පෙන්වීමට උන්වහන්සේ ක්‍රියා කළහ. බුදු සිරුර ද ලෝක ස්‌වභාවයට යටත් බව උන්වහන්සේගේ අවධාරණය විය.

අනතුරුව බුදුහු ආනන්ද හිමියන්ට මෙසේ වදාළහ.

"ආනන්දය ඔබගේ නිරීක්‍ෂණය නිවැරැදිය. මම කිසියම් අසීරුතාවකින් පීඩා විඳින්නෙමි. මෙයට පෙරද මට යම් යම් අපහසුතා ඇතිවිය. මගේ කොඳු ඇට පෙළ තුළින් නැඟෙන වේදනාව එකකි. එසේම මට උදරාබාධයක්‌ ද වෙයි. බේලුව ගමෙහිදි මම එම වේදනාව මැඩලීම සඳහා සමාධි ගතවීමි. දැන් යළිත් ඒ උදරාබාධය මා පෙළයි. මම එයට හේතුවද දනිමි.

ආනන්දය අද චුන්දයන්ගේ දානය සඳහා මා වෙනුවෙන් විශේෂයෙන්ම පිළියෙළ කළ සූකර මද්දව නම් දුලබ ඖෂධීය ව්‍යංජඤනයක්‌ විය. එය වළ ඳන ලද්දෙත් මා පමණි. ආනන්දය එය බුදුවරයකු හැර අන් කිසිදු ප්‍රාණියකුට දිරවා ගත නොහැක්‌කේය. මම ඒ බව චුන්දයන්ටද පැහැදිලි කළෙමි. එසේම මා ඒ නිසා ගිලන් වූ බව ඔහුට හැඟී යන්නේ නම් එයද නොමැනවි.

ආනන්දය ඒ නිසා චුන්දයන් තුළ එබඳු කනස්‌සල්ලකට ඉඩ තැබීමද නොමැනවි. 

චුන්දයන්ගේ දානයද එදා බෝමුලදී සුජාතාවන් විසින් පිරිනමන ලද දානයද එකම ආනිසංස ලබාදෙන අති උතුම් දානයක්‌ බව ද ඔහුට දැන්විය යුතුය. එසේම චුන්දයන් සංසාරයේදී කළ පැතුමක්‌ වූයේද බුදුවරයකුට අවසන් දානය පූජා කිරීමය. ඒ නිසා එදින ලත් පළමු දානය මෙන්ම මෙදින ලත් අවසන් දානය ද සමපල දෙනු ඇත.

ආනන්ද හිමියන්ට සියල්ල පැහැදිලි විය. බුදුන් වහන්සේට ලෝහිත පක්‌ඛන්දිකා හෙවත් රුධිරය විරේචන ආබාධය උත්සන්න වූ බවද ආනන්ද හිමියන්ට පසක්‌ විය. කෙමෙන් උන්වහන්සේගේ සක්‌මන ද දුබල වන අයුරු පෙනුණි.

"භාග්‍යවතුන් වහන්ස ගමන් විඩාව නිවාගෙන යන්නේ නම් ඔබ වහන්සේට පහසුවකි."

බුදුහු තුෂ්ණිම්භූතව එය ඉවසූහ. තමන් වහන්සේගේ සිරුර අප්‍රාණික වන බවක්‌ද උන්වහන්සේට දැනුණි. 

"ආනන්දය විඩා සංසිදුවා ගෙන යනු රිසිමි. අර පෙනෙන රුක මුලට මා රැගෙන යන්න. ඒ වනපෙත පිස එන සුළඟ ද ඒ වනස්‌පතින්ගේ සෙවණ ද මට පහසුවක්‌ දනවනු නිසැකය.

බුදුන් වහන්සේ ගමන නවත්වා අසල වූ රුක මුලට වැඩියහ. ආනන්ද හිමියෝ ද සඟල සිවුර ගෙන යළි නවා අසුනක්‌ පිළියෙල කළහ. බුදුහු එහි වැඩ සිටියහ. ස්‌වල්ප වේලාවක්‌ එහි වැඩ සිටි උන්වහන්සේ යළි ආනන්ද හිමියන් දෙසට හැරී, තමන් වහන්සේට දැඩි පිපාසයක්‌ දැනෙන බවත් අසල ඇති පැන් තොටක්‌ වෙත ගොස්‌ පැන් රැගෙන එන ලෙසත් වදාළහ.

ආනන්ද හිමියෝ ද පාත්‍රය සුරතට ගෙන එහි වූ අතුරු මගක්‌ ඔස්‌සේ පියනැඟූහ. ආනන්ද හිමියන් දුටුවේ ඒ අසල ගලා බස්‌නා දිය දහරාව දුර්වර්ණ කරමින් ගැල් පෙළක්‌ම ඉදිරියට ඇදෙන බවය. ඒ දිය දහරාව කකුත්ථා නම් නදියයි. වෙළෙඳ ගැල් පන්සියයක්‌ම ගමන් කිරීම නිසා ගඟ දියබෙහෙවින් බොර වී තිබුණි. ආනන්ද හිමියෝ එහි නොරැඳී ආපසු පැමිණ එපවත් බුදුන් වහන්සේට සැළ කර සිටියහ. එහෙත් බුදුන් වහන්සේට දැනුණේ දැඩි පිපාසයකි. උන්වහන්සේ යළිත් ආනන්ද හිමියන්ට තම අපහසුතාව වදාළහ. ආනන්ද හිමියන් තුළ වූයේ දැඩි නොසන්සුන් බවකි. ගැල් පන්සියයක රෝද පමණක්‌ නොව පන්සියයක්‌ ගොනු කුර ද වැදී කැළඹුණු දියදහරාවක ස්‌වභාවය කිසිසේත් යහපත් නොවීය. බුදුහු තෙවන වරටද පැන් අයෑද සිටියෙන් ආනන්ද හිමියෝ යළිත් නදිය සමීපයට ගියහ.

ආනන්ද හිමියන්ට සිය දෙඇස්‌ අදහාගත නොහැකි විය. මඩ දිය පෑදී තිබුණි. ගැල් පන්සියයක්‌ තබා එක ගැලක්‌ ගිය ලකුණකුදු නොවීය. සිසිල්ව දිය පහර ගලා බසියි. ආනන්ද හිමියෝ සිතන්නාහු මේ නම් උන්වහන්සේගේ බුද්ධ ලීලාව නිසාම වූ දෙයකි. මොහොතකට පෙර දුර්වර්ණ වූ නදිය රිදී පැහැයෙන් ඇදෙයි. ආනන්ද හිමියෝ පාත්‍රය නිල් දියෙන් පුරවා ආපසු පැමිණ බුදුන්ට පිළිගැන්වූහ. බුදුන් වහන්සේට පැන් බිඳක්‌ පානය කළ සැණින්ම මහත් අස්‌වැසිල්ලක්‌ දැනුණි. සිරුර ඇතුළතින් නැඟුණු වේදනා නිවිණි. ඒ බව ආනන්ද හිමියන්ට ද පසක්‌ විය. 

"භාග්‍යවතුන් වහන්ස ඒ කකුත්ථා නදිය ඉතා නුදුරුව වෙයි. ගඟ පත්ලද ඉතා පැහැදිලිය. රොන් මඩ හෝ වෙනත් අපද්‍රව්‍ය ද කිසිත් නැත. දෙපස ඉවුර ද මනරම්ය. ගැඹුරු ද නැත. එසේම නිදහසේ පැන් සැනසීමට බාධාවක්‌ද නැත. ඉදින් ඔබ වහන්සේ රිසි වන්නෙහි නම් එහි වඩිනු මැනවි. පැන් සනහනු මැනවි."

ආනන්ද හිමියන්ගේ කාරුණික අයෑදුම තුෂ්ණිම්භූතව ඉවසූ බුදුහු තවත් නිමේෂයක්‌ එහිම වැඩ සිටියහ. උන්වහන්සේ එලෙස විවේක සුවයෙන් සිටිද්දී පුක්‌කුස නම් අයෙක්‌ ඒ අසළිsන් යන්නේ රුක මුල් වැඩ සිටින බුදුන් වහන්සේ දැක නතර විය. පුක්‌කුස ආලාරකාලාමයන්ගේ ශිෂ්‍යයෙකි. පුක්‌කුස බුදුන් සමීපයට පැමිණ එක්‌තරා පැනයක්‌ නැඟුවේය. එනම් පියවි සිහියෙන් සිටින යමෙකුට තමා අසලින් ඇදී යන ගැල් පන්සියයක්‌ නොපෙනුණු බවකීම ඇදහිය හැකිද? යනුයි. බුදුහු එය එසේම සිද qවිය හැක්‌කක්‌ බවද වදාළහ. එසේම එය පැවිද්දන්ගේ ශාන්තවාසය තහවුරු කරන ආශ්චර්යවත් ගුණයක්‌ බවද උන්වහන්සේ පෙන්වූහ. එසේම තමන් වහන්සේ ද එක්‌ ආත්මභාවයකදී එබඳුම සිද්ධියකට මුහුණපෑ බවද සඳහන් කළහ.

පුක්‌කුසය එකල මම කිසියම් නුවරක සිටියෙමි. මහා වැසි වැටුණි. හෙණ හඬ නැඟුණි. විදුලි එළි විහිදුණි. ඒ වැසි මැදට වැටුණු වැසියෝ දෙදෙනෙක්‌ ද මියගියහ. ඔවුන්ට අයත් ගොන් බානක්‌ද මිය ගියහ. ඒවා බැලීමට මහා සෙනඟක්‌ ද රැස්‌ වූහ. මමද ඒ අසල එළිමහනක වීමි. එහෙත් ඒ කිසිවක්‌ මට නොඇසුණි. මගේ සිහියද මනාව විය. එහෙයින් එබදු දෙයක්‌ සිදු විය හැක්‌කේය.

බුදුන් වහන්සේ ඒ කතාව කියා අවසන් වනවිටම පුක්‌කුසයන් තුළ විශාල ප්‍රසාද චිත්තයක්‌ ද වැඩී තිබිණි. හේ තමන් සත්තකයෙහි තිබුණු අගනා සියුම් සිවුරු යුගලයක්‌ ද බුදුන් වහන්සේට පූජා කළේය. අනතුරුව පුක්‌කුස බුදුන්ට නමස්‌කාර කර පිටත්ව ගියේය. ඔහු සමුගෙන ගිය පසු ආනන්ද හිමියෝ ඔවුන් විසින් බුදුන්ට පූජා කරන ලද සිවුරුe යුගල රැගෙන බුදුන් වහන්සේ සමීපයට පැමිණියහ. පසුව ඒ සිවුරු දෙක බුදුන් වහන්සේගේ සිරුර වෙත ළං කළහ. එකෙණෙහිම ඒ සිවුරුවල දීප්තියද බැබලීමද අතුරුදන් විය. ඒ දුටු ආනන්ද හිමියෝ පුදුමයට පත්ව ඒ කුමක්‌ නිසා සිදු වූවක්‌දැයි බුදුන් වහන්සේගෙන්ම විමසා සිටියහ.

"ආනන්දය මම එහි සියලු තතු පහදාලන්නෙමි. එයට හේතුවද බුදුවරයකුගේ ආනුභාවයයි. ආනන්දය බුද්ධ ශරීරයෙන් එබඳු දීප්තිමත් රශ්මිමාලා විහිදී යන අවස්‌ථා දෙකකි. පළමුවැන්න යම් මොහොතක පාරමී බලයෙන් බුද්ධත්වයට පත්a වන්නේ ද එවේලෙහි බුදුවරයකුගේ සිරුර දීප්තිමත්ව, රන්වන්ව, සුදිලෙයි. එසේම බුදුවරයෙක්‌ පිරිනිවන් පෑමට පෙර දින ද එබඳුම රන්වන් වූද පැහැපත් වූද රැස්‌මාලා බුදු සිරුරෙන් විහිදෙන්නේය. ඒ බුදු අසිරිය තුන් ලොව දකින්නේය. එය දකින ඇතැම් කෙනෙක්‌ මේ කුමක්‌දැයි වික්‍ෂිප්තව භාවයටද පත් වෙති. එහෙත් එහි කිසිදු අසාමාන්‍යයක්‌ නැත. ඒ බුදු සිරිතෙහි අසාමාන්‍යයයි.

ආනන්දය මම පෙරද මෙම අනිත්‍ය ධර්මතාව පිළිබඳව සංඝයාට උපදෙස්‌ දී ඇත්තෙමි. මම ද දැන් ඒකාන්තයෙන්ම ඒ ධර්මය අබියස සිටින්නෙමි. මගේ ජීවිත සැඳෑව අර්ථවත් ලෙසද සන්සුන් ලෙසද ගෙවී ගිය අයුරු ඔබ දන්නෙහිය. මගේ දහමෙහිද ධර්ම චාරිකාවේද සුළු හෝ දොසක්‌, පළුද්දක්‌ වරදක්‌ නැත්තේය. මම ලෝකයාගේ යහපතම අපේක්‍ෂා කළෙමි. ලොවට අර්ථ සිද්ධිය කළෙමි. ඒ නිසාම මම හෙට දින පිරිනිවන් පෑමේ උපේක්‍ෂා සිතින් මා පසුවන්නෙමි."

ආනන්ද හිමියන්ගේ සවනින් ඇතුල් වූ ඒ බුදු වදන් උන්වහන්සේ තුළ දැඩි සෝකයක්‌ ද නැංවීය. බුදුහු පිරිනිවන් පාති යන්න ඒ වනවිට මුළු මහත් සංඝයා වහන්සේම දැන සිටියේය. රහත්හිමිවරු එහි උපේක්‍ෂා වුහ. එහෙත් පුහුදුන් භික්‍ෂූහු සෝකයෙන්ම පසු වූහ.

ආනන්ද හිමියන්ගේ හද මඬල සුව කරමින් අතීත බුදු සිරිත් ගඟ දිය බැස යන්ට විය. ඒසමගම දැසින් කඳුලු ද ගලා යන්ට විය. එසේ වුවද එය උන්වහන්සේට සුවයකි. බුදු පාමුල රැඳෙමින් තමන් විසින් බුදුන් වහන්සේට දක්‌වන ලද ගෞරවයටද ප්‍රණාමයටද බුදුහුම පැසසුහයි ආනන්ද හිමියෝ දනිති. ඒ සියල්ල අප්‍රමාණ සැනසිලි වුවද බුදුන්ගේ පිරිනිවීමෙන් පසු ජීවිතයම හිස්‌වන්නාක්‌ සේ උන්වහන්සේට දැනෙන්ටද විය. එකෙණෙහිම ආනන්ද හිමියන් වටා බුදුන්ගේ ධර්මෝපදේශ භ්‍රමණය වන්ට ද විය. එසඳ උන්වහන්සේ මෙසේ සිතන්ට විය. 

"බුදුන් වයන්සේට අප්‍රමාණ අනුග්‍රහ උපකාර කළ බිම්බිසාර, කෝසල, අනේපිඬු වැනි රජවරුන් වගේම සිටුවරුන්ද දැන් ජීවතුන් අතර නෑ. ඒ වගේම සුදෝවුන් රජු හා මහා ප්‍රජාපති, යසෝදරා වැනි තෙරණියන්ද පිරිනිවන් පාලා. ඒක තමයි යථාර්ථය. එයට එරෙහි වෙන්ට බෑ. මට ඒ සියල්ල තේරුම් ගන්ට අමාරු නෑ. ඒත් මගේ දැස්‌ මට අවනත නෑ. මගේ සිත මට හසුරුවා ගන්ට බෑ.

සැබැවින්ම බුද්ධ වියෝගයෙහි වේදනාව ආනන්ද හිමියන්ට සුවිශේෂ ද වෙයි. උන්වහන්සේ රහත් භාවයට පත් නොවූ හෙයින් ඒ ලෝක ස්‌වභාවය පසක්‌ වුවද උපේක්‍ෂාව දුබල වෙයි.
ගාමිණී සුමනසේකර