සියලු යාදිනිද ඇමතුම්ද සිදුහත් ගෞතමයන්ගේ සවන් අසලට තරම්වත් ළං නොවීය. ඒ කාම සිතිවිලි ග්‍රාම්‍ය, ළාමක, නොමනා දෙයක්‌ බව සිදුහත්ට පසක්‌ වූයේ ඇසළ සැණකෙළි මැද රැය ගෙවද්දීය. එකල එහි සිටි ලියෝ මනරම් වූහයි සිතන්නට පවා සිදුහත් නොරිසිවිය. එදා ඔවුන්ට සිතුනේ ඒ නාටිකාංගනාවෝ සසර මැද අටවන ලද බිහිසුණු උගුලක්‌ සේය.

2011 ජූලි 17 ඉරිදා 4

සහම්පති මහා බ්‍රහ්ම රාජයා සුදොවුන් මාළිගාවේ!

නේරංජරා නදී නිම්නය අසබඩ වෙසක්‌ පුන් 
පෝදා රැය මුළුල්ලේ ඒ සා බිහිසුණු මාර සංග්‍රාමයක්‌ පැවතුණේ වී තමුදු හාත්පස එබඳු කුදු ලකුණකුදු නොදිස්‌විය. දස බිම්බරක්‌ මරු සෙනඟ ප්‍රචණ්‌ඩ කණාටු මවමින්ද අග්නිජාලා දල්වමින්ද කැළඹූ මිහිපල් තෙම ශාන්තව නිවී සැනසී තිබුණේ බුද්ධත්වයෙහි ආශ්චර්ය මෙබඳු යෑයි පාන්නාක්‌ මෙනි. ළාහිරු තුරු හිස්‌ අතරින් පෙරී හාත්පස පිනි මුතු බබළවමින් තිබුණි. වැලිතලා අතරින් ගලායන රිදී නදිය ඇස නිවයි. නේක වර්ණ ගන්ධ පුෂ්ප සුළං වැල් ඇදෙයි. මියුරු කුරුලු ගී කන් පිනවයි. සොබා දහම වසන්ත සැණකෙළියට සැරසිලි කළ සෙයකි. දෙව්බඹ සාදු නද හිස්‌ අහස ගිගුම් දෙයි.

සිදුහත් ගෞතමයෝ සමාධි සුවයෙන්ම නිසසලව වැඩ උන්හ. සොබා දහමද මහී කාන්තා තෙමේද මේසා පූජාවන් දක්‌වා උපහාර වන්දනා කරද්දීත් ඒ කිසිවකින් උද්දාමයක්‌ හෝ කවරාකාර අමුතු හැඟීම් මාත්‍රයක්‌ හෝ ගෞතම බුදුන් වහන්සේ තුළ නම් නොවීය. බුදු මහිම නම් එයමය. දෙව්, බඹ, මිනිස්‌ යනාදී කවර බලයකටද කිසි විටෙක සම කළ නොහැක්‌කා වූද අසමසම, අසාමාන්‍ය වූ බුදු මහිමය නම් ආශ්චර්යයක්‌ම වීය.

බුදුන් වහන්සේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් තමන් විසින් සාක්‌ෂාත් කර ගන්නා ලද ඥනබලද බුද්ධිබලද ලෝ දන යහපත උදෙසා යොදා ගත යුතුය යන සද් ෙච්තනාවෙන්ම පසුවූහ. දිබ්බ සෝත, දිබ්බ චක්‌ඛු යනාදී ඥනලෝක විහිදුවමින් සියලු ලෝ ධාතූන් අතැඹුලක්‌ සේ ක්‍ෂණයකින් විමසා බලා ඒ සියල් තතු නන් අයුරින් අනාවරණය කිරීමේ මහාබල තමන් සතු වූ අයුරුද උන්වහන්සේ උපේක්‍ෂාවෙන්ම සිහි කළහ.

මේ ගොරබිමේ සසර දනව්වේ තමන් විසින් නොලබන ලද ආත්ම භාවයක්‌ නොවූ වගද සාරාසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ අධිකව අසමසම පරිත්‍යාග, පාරමිතා සපුරා ලූ වගද එකෙණෙහි උන්වහන්සේගේ සිතට නැගුණි. මහා පුරුෂයකු සේ වීර්යයෙන්ද චිර අධිෂ්ඨානයෙන්ද ඥනාලෝකය සොයා ගිය ගමනක සමාප්තියම ලෝකවාසීන්ට නව ආරම්භයක්‌ වන අයුරු උන්වහන්සේ සිහි කළහ.

මේ ලෝකයේ පැවැත්ම යම් කලක්‌ වන්නේද ඒ සියලු කල්හිම සත්ත්වයන්ට යහපතක්‌ නොවේ. එහෙත් බුද්ධොත්පාද කාලය තරම් පරම භාග්‍යයක්‌ තවත් වන්නේද? එසේ වුවද එහි හේතු සම්පත් අහිමිවන්නාවූ සත්ත්වයෝද බොහෝය. රස තෘෂ්ණාවෙහි බැඳුණු වාත මෘගයෝ සේම ලෝක වාසී සියලු සත්ත්වයෝද මුළාව, සිහිමඳව දුක්‌ම ගනිති. සුඛය හෙවත් සැපත යනු අත්හැරීම විනා වැළඳ ගැනීම නොවන වග පුහුදුන් සත්ත්වයෝ නොදනිති. චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝක සත්ත්වයාට පහදාදීම බුද්ධ මාර්ගය බවද බුදුහු සිහි කළහ. ඒ ගැඹුරු ධර්ම මාර්ගයෙහි ලෝ සතුන් යෙදවීම වුවද පහසු නැත. මනුෂ්‍ය වර්ගයාට විවිධ අරමුණුය. ඉන්ද්‍රිය ප්‍රීනනයෙහි ලොල් වන්නාහූ එයින් පුමුදිත වෙති. එය ග්‍රාම්‍ය, නීරස ධර්මතා සේ නො ගනිති. හේතු ප්‍රත්‍ය පිරිසිඳ දත නොහැක්‌කාවූ ඔවුන්ට සංස්‌කාර නිරෝධය හෝ යළි උපත දුරලීම හෝ දුෂ්කරමය. ඔවුහු රාගයට විනා විරාගයට ළං නොවෙති. එහෙයින්ම නිරෝධ මාර්ග හෙවත් නිර්වාණයද දුරස්‌ථ වනු ඇත. එහෙත් මේ ධර්මතා ලොවට පහදා දීම මාගේ පරමරමණීය අභිලාෂයම වන්නේයෑයි උන්වහන්සේ අධිෂ්ඨාන කර ගත්හ.

මානව වර්ගයාගේ සනාතන විමුක්‌තිය සඳහා තමන් වහන්සේගේ අසමසම සංසාර චාරිකාව යොමු වූ වග විනා ඒ උදෙසා ලද දුක්‌ඛ, වේදනා කෙබඳුදැයි කිසිකලෙක ඔවුන්ට පහදා දිය නොහැකි වගද, එබඳු ක්‍රියාමාර්ගවලින් ඔවුන්ට සෙතක්‌ නොසැලසෙන වගද බුදුහු දත්හ. එසේ වුවද බුද්ධත්වය යනු අතිශය විරල වූ මනුෂ්‍යයන් අතර අසාමාන්‍ය මනුෂ්‍යයකුට පමණක්‌ ලද හැක්‌කාවූද විස්‌මිත බුද්ධිමය බලයක්‌ බව ඔවුන්ට පහදාදීම වටිනා බවද බුදුන් වහන්සේට සිතුණි. අනතුරු විපත් සහිත ලෝකයක ජන ජීවිතය සුපුෂ්පිත කරවීමේ මාර්ගය පසක්‌ කරගත් බුදුන් වහන්සේට ස්‌වකීය ආසන්න අතීතය එක්‌වරම සිහි විය.

"මමද මුළාව සිත, කය හා ඉන්ද්‍රිය දමනය සඳහා සිරුරට අප්‍රමාණ වධ දුනිමි. අත්තන්තප හෙවත් ශාරීරික හා මානසික වධ වේදනාවෙහි බිහිසුණුම අන්තයට මම ගියෙමි. එහෙත් එය අවැඩයෑයි නොසරුයෑයි මා පසක්‌ කරද්දී මා සමඟ සිටි පස්‌වග මිතුරෝ මා හැර ගියහ. එහෙත් මේ මොහොතේදී පවා තමන් බුදුවරු යෑයි හඬ නගා කියන්නාහු සිටිති. ඒ ඉහතකී දුක්‌ඛ චර්යාවන්හි නිරත වූවෝය. මම ඒ මග හැර රජස්‌ රහිත වූද සියුම් වූද බුදු ඇස ලදිමි. එහෙයින්ම අමරණීය වන්නෙමි."

සැබැවින්ම සිදුහත් ගෞතමයන් වහන්සේ මේ මිහිපිටද මේ සියලු සක්‌වල මුළුල්ලේද ඇති දුෂ්කරම සත්‍යය පසක්‌ කළ සේක. කිසියම් රන්කරුවකු තමන් අතට ලැබෙන අශුද්ධ ගණ රන් සූක්‌ෂම ලෙස ගිනි රශ්මියෙන් දවා ඒ අශුද්ධ කොටස්‌ ඉවත් කර රන් ශුද්ධ කෙරේද එලෙසම බුදුහු සියලු අශුද්ධ, අපද්‍රව්‍ය ඉවත් කර පරම පිවිතුරු නිර්වාණය මතු කළහ. එකල්හි බුදුසිත තුළ මෙබඳු උදානද නැගිණි.

සසර ගෙය තනන වඩුවාණන් ට

මෙවර නොහැකමය ගේ සාදන් ට

නොතිර මෙකය හැම දොස්‌ දුරලන් ට

පවර බෝ මුලදි වර ලද බුදුවන් ට

ඇලුම් සසර දුරු කළ තුන් සිතිනි

බැලුම් සතට නිබඳව වූ මෙතිනි

පියුම් විලස මතු වූ නිල් දියෙනි

ඉතින් බුදුව නිවනෙමි ඒ සහස්‌ ගිනි

පමා නොවී, ගිය ඇරඹූ ඒ ගමන

නිමා විය මෙලෙස සසරේ සැරුම

අමා රස සදන ලොව්තුරු නිවන

යොමා බලනු දෙන පිවිතුරු සහන


මෙවේලෙහි සහම්පති නම් වූ මහාබ්‍රහ්ම තෙමේද මෙලෙස සිතන්ට විය.

"බුද්ධානුභාවයෙන් සියලු සාගරද සියලු ලෝක ධාතුහුද ප්‍රකම්පිතව ගියහ. සකල දෙව් බඹ ලෝ වාසීහුද පුමුදිතව ගියහ. එසේ වුවද ඒ ආශ්චර්ය මනුලොව සත්හු නොදත්හ. එය නොමැනවි. යටත් පිරිසෙයින් මම ද ඒ තතු මනුලොවට දන්වමියි සිතන්නේ පළමුව ඒ වග සිදුහත් පිය මහරජ සුදොවුන්හට දැන්වීම උචිතයෑයි සනිටුහන් කර ගත්තේය.

මහබඹු යම් තෙදවත්, ඔදවත් පුරුෂයක්‌හු වක්‌ කළ අතක්‌ සැණකින් දික්‌ කෙරේද එලෙසම බඹ ලොවින් චුතව කිඹුල්වත්පුර සුදොවුන් මහරාජ මාළිගාවේ දකුණු වාසල් දොරටුව අබියස සෘෂි වේෂයකින් ප්‍රාදුර්භූතව සිටියේය. මේ විසල් මාළිගයෙහි සියලු රැකවල්ද, ආරක්‍ෂා විධි විධානද මඟහැර මෙලෙස පෙනී සිටි සෘෂීන් වහන්සේ දුටු මාළිගාවේ රැකවලට සිටි රාජපුරුෂයෝද භ්‍රාන්ත වූහ. ඔව්හු සෘෂීන් වහන්සේට නමස්‌කාර කර ඒ පුවත් සැලකිරීමට රජවාසලට දිව ගියහ. සුදොවුන් මහරජුද එවේලෙහි තමන් වෙතට එන රාජපුරුෂයන් දැක කිසිවක්‌ සිතා ගත නොහැකිවම බලා සිටියේය. මේ අමුත්ත කුමක්‌ද යන කුහුලද රජු තුළ වැඩුණි.

"අවසර දේවයන් වහන්ස, අපගේ රාජ්‍ය සේවයෙහි මඳ හෝ ප්‍රමාදයක්‌ නොවුවද ඒ සියලු රැකවල්ද, මුරකාවල්ද දැඩිව තිබියදීත් මාළිගා දොරටුව අබියස සෘෂින් වහන්සේ නමක්‌ වැඩ සිටින්නේය. උන්වහන්සේ කිසිසේත්ම මහ පොළව මතින්, පියවි ගමනින් ආ බවක්‌ නම් නොහැඟේ. අපට අනුකම්පා කර කුමක්‌ කළ යුතුදෝහෝයි උපදෙසක්‌ දුන මැනවි."

රාජපුරුෂයන්ගේ කතාවෙහි කිසිදු අමුත්තක්‌ද විය නොහැක. මෙවන් ආශ්චර්යයන් දැන් කලක සිටම මෙනුවරද අවටද සිදුවන බවට ආරංචිද අඩු නොවීය. මෙයද ඒකාන්ත වශයෙන්ම එබඳු ආශ්චර්යයක්‌ම යෑයි රජු සිතා ගත්තේය. රජුද කිසිදු අමුත්තක්‌, චකිතයක්‌ නොදක්‌වාම "යව උන්වහන්සේ මෙහි කැඳවා ගෙන එව" කීහ. සුදොවුන් රජු එසේ කියා අවසන් වන්ටත් පෙරම සෘෂි වෙස්‌ ගත් මහබඹු රජු ඉදිරියෙහිද ප්‍රාදුර්භූත විය.

සුදොවුන් රජුද සෘෂින් වහන්සේට නමස්‌කාර කර අසුන් පනවා එකත්පස්‌ව සිටියේය. එසේ ගරසරු කර මෙසේ කීහ.

පින්වත් සෘෂිතුමනි, මේ මාළිගාව හාත්පස දැඩි සේ රැකවල් කර ඇත්තේය. ඒ සියලු රැකවල් නොතකා මේ මාළිගා භූමියට ඇතුල්වීමට කිසිදු මිනිස්‌ ප්‍රාණියකුට නම් නොහැක්‌කේය. එහෙයින් ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම මනුෂ්‍යත්වය ඉක්‌මවූ අයෙක්‌ බව හඟිමි. එසේම ඔබ වැනි උතුම් අයෙක්‌ හට මගෙන් උපකාර, අනුග්‍රහ අවශ්‍ය බවක්‌ද නොහැඟේ. ඉදින් මෙලෙස මා සොයා පැමිණීමේ අභිලාෂය කුමක්‌ද?

"මහරජ ඔබ ඉතා බුද්ධිමත් මනුෂ්‍යයෙකි. එසේම ඔබ මෙලොව තබා සියලු සක්‌වල තුළද නොවන්නා වූ භාග්‍යවන්ත රජෙකි. ඔබ තරම් සුපින්වත්, මිනිසකු කොතැනක හෝ නොවන්නේමය. ඔබ වහන්සේගේ සුජාත පුත්‍ර වූ සිදුහත් ගෙවී ගිය වෙසක්‌ පුන් පෝදා බුද්ධත්වයට පත් වූ සේක. එවක්‌ පටන් උන්වහන්සේ ගෞතම නම් බුද්ධ වෙති. කිසිදු මිනිස්‌ ප්‍රාණියකු නොදත්තේ නමුදු පෙර රාත්‍රිය මුළුල්ලෙහි ඒ අසමසම අසාමාන්‍ය බුදුගුණයෙන්ද බුදු තේජසින්ද සකල ලෝ ධාතුවම කම්පා වී ගියේය. මහපොළොව සැලී උන්වහන්සේට පූජා කළේය. දෙව්බඹ සුරයනාදීහු සාදු නද වැසි වැස්‌වූහ. වසවර්ති මරුද උන්ගේ දස බිම්බරක්‌ සේනාවෝද, මාර දුහිතෘහුද පැරද පලා ගියහ. එකවර සියලු අවා ගිනි නිවී ඒ මත සියපත් සුපිපුණි. දෙව් බඹුන් සහිත මෙලොවෙහිද වෙනත් සියලු සක්‌වලද බුදුන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨයකු, විශිෂ්ටයකු නොමැත්තේය. උන්වහන්සේ අරහත් වන සේක. ශාස්‌තෲ වන සේක. සම්මා සම්බුද්ධ වනසේක. මෙවක්‌ පටන් සියලු ලොව අඳුරු නැසෙයි. මරණය අමරණීය වෙයි. ඒ උතුම් බුදුන් වහන්සේගේ පුවත ඔබට දන්වනු වස්‌ පැමිණි මම සහම්පති නම් මහා බ්‍රහ්මරාජයා වන්නෙමි.

එසේ කියූ මහා බ්‍රහ්මයා ක්‍ෂණයකින් අතුරුදන් වනු රජු දුටුවේය. සුදොවුන් මහරජු තුළද අප්‍රමාණ සොම්නස්‌ සිතිවිලි පහල විය. කුමර වියෙහි සිටම සිදුහත් ගෞතමයන් තුළ වූ අධිෂ්ඨානය එලෙස මුදුන් පමුණුවා ගැනීමට හැකිවීම පිළිබඳවද සුදොවුන් රජු මහත්සේ ප්‍රමෝදයටද පත් විය.
ගාමිණී සුමනසේකර
දිවයින

2011 ජූලි 24 ඉරිදා 5


වෙළෙඳ දෙබෑයෝ බුදුන්ට විලඳ පූජා කරති!
නේරංජරා නදී තෙර අසල සොබාදහමේ නිරාමිස සතුට විඳිමින් සිටි ගෞතම බුදුන් වහන්සේට තවත් සති කීපයක්‌ එහි විසීමේ සිතක්‌ පහළ විය. උරුවේලා දනව්වත්, වැලි තලා අතරින් ඇදී යන නදියත් තමන් වහන්සේට බුදුබව ලබාගන්නට උපකාර වූ බෝමැඬ හා දිවා විහරණය කළ වන පෙතත් පිළිබඳව බුදුන්වහන්සේට ඇති වූයේ කෘතවේදී සිතිවිලිය. බුද්ධානුභාවයෙන් ලද ලෝක ඥනයෙන් අතීතාවර්ජනයක යෙදුණු උන්වහන්සේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සත්ත්වයන්ගේ පැවැත්ම හා ලෝක ධර්මය පිළිබඳවද සිහි කරන්නට විය.

අවිද්‍යාව නිසා සංස්‌කාරද සංස්‌කාරවලින් විඤ්ඤාණයද එහි පල වශයෙන් නාමරූපද, ඉනික්‌බිතිව ආයතන, ස්‌පර්ශ, වේදනා තණ්‌හා, උපාදාන, භව, උපත යනාදී වශයෙන් නොබිඳ පවත්නා හුය පොටෙහි ස්‌වරූපයද උන්වන්සේ මෙනෙහි කරන්නට වූ සේක. එවේලෙහි මේ ගාම්භීර ධර්මය කා හට දේශනා කරම්ද යන සිතිවිල්ලද පැන නැගිණි. ඒ සඳහා ප්‍රඥවන්තයෝ ලොව නොසිටිත් නම් මගේ සියලු ව්‍යායාමයන් නිෂ්ඵල වන්නේ නොවේ දැයි උන්වහන්සේ කල්පනා කරන්නට ද විය. එසැණින්ම මහාබ්‍රහ්මයා උන්වහන්සේ අබියස පෙනී සිට පින්වත් භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන්ම ඔබ වහන්සේගේ අධිෂ්ඨානය පරිදිම සදහම් දෙසමින් ලෝවැඩ සඳහා සියලු කටයුතු සම්පාදනය වී ඇතැයි පවසා අතුරුදන් විය.

පළමු දම් දෙසුම සඳහා උරුවේලාවෙන් පිටත්ව බරණැස ඉසිපතනය දෙසට ගමන් කළ යුතුය යන සිතිවිල්ලද එවේලෙහි උන්වහන්සේ තුළ වැඩුණි. එහෙත් ඊට පෙර තමන් වහන්සේට බුද්ධත්වය ලබාගැනීමට දිරි දුන් ස්‌වභාව ධර්මයට කෘතගුණ දැක්‌වීම උතුම්ය යන සිත උන්වහන්සේට ඇතිවිය. බෝරුක මුලම සතියක්‌ සමාධි සුවයෙන් වැඩවිසූ බුදුහු පිළිවෙළින් අනිමිස ලෝචනයෙන්ද සක්‌මන් කරමින්ද, ගැඹුරු අභිධර්මය ආවර්ජනය කරමින්ද ආදී වශයෙන් තව තෙසතියක්‌ ගෙවූහ. තමන් වහන්සේට බුදුවීමට පිට දුන් බෝධිය දෙස සතියක්‌ම ඇසිපිය නොහෙලා බලා සිටීම අනිමිස ලෝචනයයි. බුදුවරයෙකු වෙතින් මෙවැනි පූජාවක්‌ උපහාරයක්‌ ලද වෙනත් වෘක්‌ෂයක්‌ මේ මිහිතලයේ නැත. සිවුවන සතියේ බුදුසිරුරෙන් ස්‌වර්ණ වර්ණ ආලෝක ධාරාවන් නිකුත් වන්නටද විය. උන්වහන්සේගේ සිරස වටා රශ්මි මාලා දිලුණි. නීල, පීත, ලෝහිත, ඕදාත මාංෙ-ෂ්ට ප්‍රභාෂ්වර මාලාවන්ගේ කාන්තිය බුද්ධත්වයේ සුවිශිෂ්ටත්වයට ලද පූජාවක්‌ සේ විය.

පස්‌වන සතියෙහි උන්වහන්සේ තමන්ට පෙර සිට පුරුදු වූ අජපාල නුගරුක වෙත යැමේ අදහසක්‌ පහළ වූයෙන් එතැනට සක්‌මන් කළේය. එහිදී ඒ අසලින් ගමන් කරමින් සිටි එක්‌තරා බමුණු කුල පුත්‍රයෙක්‌ උන්වහන්සේ වෙත ළංවිය. ඒ මහ වන පෙත බබළවමින් වැඩ සිටි බුදුන්වහන්සේ දුටු බ්‍රාහ්මණයා උන්වහන්සේ සමඟ සතුටු සාමීචියකද නිරත විය. එකල බමුණාගේ සිත තුළ කිසියම් පැනයක්‌ද නැගුණි. ඒ බ්‍රාහ්මණයා යනු කවරෙක්‌ද? ඔහුගේ ලක්‌ෂණ කවරේද? යන පැනයයි.

බ්‍රාහ්මණයා ඇමතූ බුදුන්ගේ පිළිතුර ඔහුගේ අහංකාර සිතටද දැඩිව වැදුණි.

"බ්‍රාහ්මණයා යනු නික්‌ලේශී වූද සන්සුන් ඉන්ද්‍රියන්ගෙන් යුතුවූද තෘෂ්ණාදී පාපධර්ම බැහැර කළා වූද වේදයෙහි පාරප්‍රාප්ත වූද බ්‍රහ්මචාරීවූද පුරුෂයෙකි. ඔවුහු විෂය ලොව කෙරෙහි ලොල් නොවන්නාහුය, යහපත් ධර්මයෙහි මනාව පිහිටන්නාහුය.

බ්‍රහ්මණ තෙමේ උන්වහන්සේට ආචාර කර නික්‌ම යද්දීම වනපෙත දෙවනත් කරමින් තමන් වහන්සේ ඉදිරියට ඇදෙන ඇතෙකුගේ රුවක්‌ බුදුන් වහන්සේගේ නෙත ගැටුණි. මේ වනපෙතෙහි මේ සා කලක්‌ සිට කුහුඹුවකුගේ තරම්වත් පීඩාවක්‌ බියක්‌ තමන් නොලද බව සිහි කළ බුදුහු මේ ඒකාන්ත ලෙසම පවිටු මාරයා යෑයි දැනගත්හ.

අනතුරුව ඇත් වේෂය හැර සිය ප්‍රකෘති රුවින්ම පෙනී සිටි මාරයා බුදුන්වහන්සේ සමඟ සංවාදයකට එළඹිණි.

"ශ්‍රමණභවත් ගෞතමය, දැන් ඔබ යම් අරමුණක්‌ උදෙසා කැප වූවෙහිද? එය ලද්දෙහිය. තවත් මේ වන පෙතටවී හුදෙකලාව විසීමේ අරුතක්‌ද නැත. එහෙයින් ආයු සංස්‌කාරය හළ යුතු නියම වේලාව එළඹ තිබේ. මම එලෙස ඔබට ආරාධනා කර සිටිමි.

බුදුන්වහන්සේ මාරයාට පිළිතුරු දෙන්නාහු

"එම්බල පාපී මරුව තොප සියලු බලයද වීර්යද යොදා මා පරාජය කළ නොහැකිව පලා ගියෙහිය. ඉනික්‌බිති මා අබියසට පැමිණියේ තොපගේ පවිටු දියණියෝය. තොපගේ අරමුණ වූයේ යහපත මැඬ අයහපත පැවැත්ම දැකීමය. තොප දැනුදු ඒ අල-ජී ව්‍යායාමයෙහිම නිරත වී සිටින්නෙහිය. බුදු මහිමය යනු මරුන්ට තබා මේ සක්‌වළ කිසිවකුට මැඬලිය නොහැකි ගාම්බීර විලාසයකි. එහි පල මෙලොව සියලු පින්වත් දනන්ට හිමිවිය යුත්තේය.

මම තොප විසින් විවර කරන ලද සියලු අපායන්හි දොරටු වසන්නෙමි. තොප විසින් අතුරන ලද කාම තෘෂ්ණා නමැති මායා දැල සිදුරු කර ඉරා දමන්නෙමි. රස තෘෂ්ණාවෙහි බැඳී වාත මෘගයන් සේ විනාශය කරා යන සියලු දනන් ඉන් මුදවා ගෙන ඔවුන් නිවන් මඟ වෙත යොමු කරන්නෙමි.

මම දුක දිටිමි. දුක විඳිමි. ජරාව දිටිමි. ව්‍යාධි හා මරණ දිටිමි. එනිසාම යළිත් එහි නොගැලී ජරා, මරණ, ව්‍යාධි නැති අවසානයක්‌ සොයා ගතිමි. ඒ ගමන ආරම්භයෙහිද නොයෙක්‌ තන්හිද තොප මට අනන්ත බාධා කළෙහිය. මගේ අධිෂ්ඨානය බිඳ සීලය වලක්‌වා මා පරාජය කිරීම තොපගේ දුෂ්ට අභිලාෂය විය. දැනුදු තොප මෝහයෙන්ද. අගතියෙන්ද මුළාව මා ලුහුබැඳ එන්නෙහිය. එය තොපට වෙහෙසක්‌ විනා කිසිදු පලයක්‌ නොමැති නිෂ්ඵල ක්‍රියාවක්‌ බව දැන්වත් පසක්‌ කරනු යෙහෙකි. මට මේ දුකට පත් සත්ත්වයන් භව සාගරයෙන් එතෙර කර විනා කිසිසේත් පිරිනිවන් පෑමේ සිතක්‌ද නැත්තේමය. දැන් මගේ පරම අභිලාෂය වන්නේ පිරිනිවීම නොව ලෝ සතුන්ගේ දුක නිවීම බව දැන ගනු යෙහෙකි. මම මෙතැන් සිට ඒ පරාර්ථ චර්යාවෙහි හැසිරෙන්නෙමියි කීහ.

බුදුන්වහන්සේගේ ඒ වචන අහස්‌ කුසට නැගී සියලු දෙව් බඹ ලෝකවල ගිගුම් දෙන්නට වූයෙන් ප්‍රමුදිතවූ දෙවි බඹහු සාධුකාර දෙන්ටද වූහ. සහම්පති මහා බ්‍රහ්මයාද ඔකඳ විය. දැන් නම් නිසැකයෙන්ම බුදුන් වහන්සේ සදහම් සක කරකවා ලෝ වැඩ සදනු ඇතැයිද දෙවියෝ අස්‌වැසිල්ලට පත්වූහ.

සයවන සතිය ගෙවීම සඳහා උන්වහන්සේට රුචි වූයේ මුචලින්ද රුක්‌ සෙවණය. ඒ වන විට යම්තමින් වැසිද වැටෙමින් තිබුණි. වනපෙත දිය පොදක්‌ අපේක්‌ෂාවෙන්ම සිටි සෙයකි. අහස වැහිබර අඳුරක්‌ද විය. සීතල සුළං ඇදුණි. බුදුන් වහන්සේටද මේ කාලගුණ විපර්යාසය දැනෙන්නට විය.

එවේලෙහි බුදුන්වහන්සේට වැසි සුළං යනාදියෙන් පීඩාවක්‌ වන්නේ නම් නොමැනවැයි සිතූ, ඒ වෘක්‌ෂයට අරක්‌ගත් නාරජෙක්‌, නාගවේෂයක්‌ මවා ගන්නේ බුදුන් සමීපයට ළංවී උන්වහන්සේ වටකර දරණ ලා බුදු සිරස පෙණ ගොබයෙන් වසා රැකවරණ සැලසීය. අහස ගිගුම් දෙමින් මහ වැසි වැටෙන්ට විය නේරංජරාව අවට වැලි තලද වැසී ගියේය. ගහ කොළ සිය ග්‍රීෂ්ම විඩාව හැර සිත් සේ පැන් උරා බොන්ටද විය. සියලු උරග සිවුපාදී සතුන්ට මෙන්ම විහඟයන්ටද වැස්‌ස මංගල්ලයක්‌ මෙන් විය.

සත්වන සතියටද එළඹිණි. හරිත වර්ණ වන පෙත බුදු ඇසට මනරම් දසුනක්‌ විය. තමන් වහන්සේ මහසල් මැදුරක නොව සල් උයනක උපන් අයුරු ද සිය ජීවන අභිලාෂය වූ බුද්ධත්වයට පත්වීම එලෙසම බෝ මැඬදී සිදුවූ අයුරුද උන්වහන්සේට සිහි විය. සොබාදහම හා තමන් අතර අවියෝජනීය සබඳතාවක්‌ නොවන්නේ නම් මෙබඳු දේවල් සිදුවිය නොහැකි බවද උන්වහන්සේට සිහිපත් විය.

අවසන් සතිය කිරිපළු රුක්‌ සෙවණෙහි ගෙවීම මැනවැයි සනිටුහන් කරගත් බුදුහු මුචලින්ද නාරජුගෙන් සමුගෙන එදෙසට ගියහ. නාරජුද මහත් භක්‌ති ප්‍රේමයෙන් උන්වහන්සේට නමස්‌කාර කළේය. රුක්‌මුල සෘජු කයෑතිව හිඳ සිටි බුදුන් වහන්සේට තමන් අබියසට එන කිසියම් මිනිස්‌ ප්‍රාණීන් දෙදෙනෙක්‌ දකගත හැකිවිය. ඔවුහු තපස්‌සු භල්ලුක නම් වෙළෙඳ බමුණෝ වූහ. උක්‌කලා ජනපදයෙහි සිට වෙළෙ¹ම් පිණිස යන ඒ බමුණු දෙසොහොයුරෝද සවණක්‌ රැසින් දිළිහි දිලිහී රුක්‌මුළ වැඩ සිටින බුදුන්වහන්සේගේ ශාන්ත රුව දැක ඉමහත් ප්‍රහර්ෂයටද පත්වූහ. උක්‌කලාහි සිට විවිධ ගම් දනව් කරා ගිය නමුදු මෙම වෙළෙඳ දෙබමුණෝ මෙවන් ආශ්චර්යමත් දසුනක්‌ නම් නොදුටුවෝමය.

මේ වෙළෙඳ බමුණන්ගේ සම්ප්‍රාප්තිය කිසිසේත්, අහම්බයක්‌ද නොවීය. මක්‌නිසාද යත් ඔවුන් එමඟ ගමන් කරනු දුටු කිසියම් සම්‍යක්‌ දෙවි කෙනෙක්‌ ඔවුන් ඉදිරියේ ප්‍රාදුර්භූතව මෙසේ කීවේය.

යහපත් වෙළෙඳ බෑයිනි. මේ මග නුදුරු රුක්‌මුලෙක මහා පුරුෂයෙක්‌ සමාධි සුවයෙන් සිටින්නේය. හේ සියලු ලොවට අධිපති සම්මා සම්බුද්ධ නම් වන්නේය. ඉදින් ඒ බුදුහු සත් සතියකට අධිකව අල්ප අහරකින් පවා තොරව විමුක්‌ති සුවයෙන්ම කල් ගෙවූහ. උන්වහන්සේට විඩාවක්‌ නොවුවද තොපට උන්වහන්සේට ආහාර පූජාවක්‌ කළ හැක්‌කේ නම් එය මහා පුණ්‍ය ක්‍රියාවක්‌ වන්නේය.

වෙළෙඳ බමුණෝද ඒ දෙවියන්ගේ ඉල්ලීමක්‌ සේ පසක්‌ කර ගත්තාහු එයට ප්‍රතිචාර දැක්‌වීමේ සද් ෙච්තනාවෙන්ම බුදුන් වෙත එළඹියහ. බුදුන්ට කෙසේ දන් පිළිගන්වමි දොa හෝයි බමුණන් කල්පනා කරද්දීම සිව්වරම් දෙවිවරු මහා අනර්ඝ රන්මිණි මුවා පාත්‍ර සතරක්‌ම බුදුන් අබියස තැබූහ. එහෙත් ඒවා උන්වහන්සේ අනුමත නොකරන වග දත් දෙවිවරු යළි ලෝහමය පාත්‍ර සතරක්‌ පෙරසේම තැබූහ. බුදුන්වහන්සේ එදෙස බලන්නා හා සමගම ඒ පාත්‍ර සතර එක්‌ පාත්‍රයක්‌ බවට පත්වීය.

මේ සියලු තතු බලමින් සිටි වෙළෙඳ දෙබෑයෝද මහත් සතුටට පත්ව, තමන් සන්තකයෙහි වූ නොඉඳුල් අත්සුණු විලඳ හා මී සකුරුද සැදැහැ සිතින් ඒ පාත්‍රයට බෙදූහ. අනතුරුව බුදුහු ඒ දානය උපේක්‍ෂා සිතින් වැළ»හ. වෙළෙඳ දෙබෑයෝ බුදුන්ට නමස්‌කාර කර බුදුන් හා දහම් සරණ ගිය ප්‍රථම උපාසකයෝ බවටද පත් වූහ.

මේ වන විට බුද්ධ හා ධම්ම යන රත්නයන් විනා සංඝ රත්නය නොවීය. බුදුන්වහන්සේ එක්‌වරම ඒ පිළිබඳ සිත යොමු කළේය. බුද්ධ, ධම්ම යන ද්විවිධ රත්නයෝ දැන් පහළව සිටිති. අන්ධකාරයෙන් වැසී ගිය ලොවක එහි වූ සියලු ගනාන්ධකාර නසා අවිද්‍යාව දුරලා හේතු ප්‍රත්‍යධර්මය තහවුරු කළ හැක්‌කේ බුදුවරයෙකුට පමණක්‌මය. පෙර බුදුවරුද එමඟ ගත්හ. ඒ අසාමාන්‍ය බුද්ධ ලීලාව දැන් සදෙව්ලොව දනිති. එහෙත් මනුලොව ඒ පිළිබඳ තතු ඉතා ස්‌වල්ප වන්නේය. ඒ සඳහා ක්‍රියා කිරීම මා සතු වගකීමය. මම පළමුව මා සමඟ සිටි අයද දෙවනුව මා පිළිබඳව ඇසූ අයද තෙවනුව මගේ සදහම් ආලෝකයෙන් අමා මහ නිවන් දකිනු රිසි වූ අයද ආදි වශයෙන් ශ්‍රාවක සමූහයක්‌ සකසා ගත යුතු වන්නේය.

මේ දඹදිව් තලයෙහි වුවද මිථ්‍යාදෘෂ්ටී බොහෝය. සුමගට වඩා දුමගට ඇද දමන චෞර වෙස්‌ ගත්තාහු බොහෝය. මමද කලකට පෙර ඒ ඇතැම් අය වෙත ගියෙමි. ඔවුන්ගේ හිස්‌ බවද නොගැඹුරු බවද මනාව දත්තෙමි. දැන් ඥන, වීර්ය ප්‍රඥ බල මට නොඅඩුව ඇත්තේ ප්‍රබල ශ්‍රාවක සමූහයක්‌ සකසා ගැනීම අත්‍යවශ්‍ය වන්නේය යනාදී වශයෙන් ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව මෙනෙහි කරන්නටද වූහ.
ගාමිණී සුමනසේකර
දිවයින

2011 ජූලි 31 ඉරිදා 6

දෙවි බඹුන්ගේ සාදු නද මැද මංගල සදහම් ස්‌වරය නැගෙයි!

                



උරුවේලා දනව්වේ සිට ඉසිපතනයට දෙසැත්තෑ ගව්වක්‌ පමණ දුර විය. සිදුහත් ගෞතමයෝ මේ සා දුරක්‌ ඇවිද යත් නම් එය නොමැනවැයි සිතූ මහා බ්‍රහ්මයා දිව්‍ය රථයක්‌ ද සමග උන්වහන්සේගේ අබිමුව ප්‍රාදුර්භූත විය. එහෙත් උන්වහන්සේ ඒ දෙස නොබලා තුෂ්ණිම්භූතවම සිටි හෙයින්, උන්වහන්සේ ඒ ගමන් පහසුව නො ඉවසන බව බඹහු නිශ්චිතවම දැන ගත්හ. සැබැවින්ම උන්වහන්සේට ඒ ගමන ප්‍රශ්නයක්‌ නොවීය. මෙලොව කිසිදු ප්‍රාණියකුට දරා ගත නොහැකි තරම් දුෂ්කර ක්‍රියාවන්හි නිරත වූ තමන් වහන්සේට ගව් සිය ගණනක්‌ වුවද කිසිදු අපහසුවකින් තොරව පියමං කළ හැකි බව බුදුහු දනිති. එවේලෙහි උන්වහන්සේට සිහිපත් වූයේ දෙව් බඹුන් සහිත ලොවම බලා සිටින ප්‍රථම ධර්ම දේශනාව කා උදෙසා පැවැත්වීම උචිත ද යන්නය. එකෙණෙහිම උන්වහන්සේට ආලාරකාලාම තවුසා සිහිවිය. තමන්ට ඔවුන්ගේ ඇසුරෙන් ලැබුණු ප්‍රතිලාභයක්‌ නො වුවද සත්‍යය ගවේෂණයෙහි ගාම්භීරත්වය පිළිබඳ නො පැහැදිලි ආලෝකයක්‌ දල්වාලීමට ආලාරකාලාම තවුසාගෙන් අනුබලයක්‌ වූ බව බුදුහු සිහිපත් කළහ. ලෞකික සුඛ විහරණයෙන් මිදුණු වීතරාගී මාවතක්‌ ඔස්‌සේ තමන්ගේ සත්‍යාවබෝධය සිදු කළ යුතුය යන අධිෂ්ඨානය ද ඇති වූයේ ඔවුන් ඇසුරෙන් බවද උන්වහන්සේට සිහි විය.

ආලාර කාලාමයෝ කොහි සිටිත් දැයි දිවැසින් බැලූ බුදුහු ඔවුන් මියගිය බව දැන සිය දෙවන තපස්‌ චරිතය වූ උද්දකරාම කොහි දැයි විමසා බැලූහ. ඔහු ද ඒ වන විට මියගොස්‌ බඹලොව උපන් බව බුදුන් වහන්සේ දැන ගත්හ. අනතුරුව බුදුන්ට සිහි වූයේ තමන් සමග ගැටෙමින්ද තමන්ට අප්‍රමාණව දිරි දෙමින්ද තමන් සමීපයෙහිම සිටි පස්‌වග තවුසන්ය. පස්‌වග තවුසෝද බුදුන්ගේ දුෂ්කර ක්‍රියා කළ සමය තුළ අප්‍රමාදව, අනලස්‌ව, අකම්පිතවම උන්වහන්සේ සමගම බැඳී සිටියහ. විටෙක සිහි මුර්ජා වී රළු ගල් මත ඇද වැටෙද්දී ඔවුන් පැමිණ වහා පැන් බිඳක්‌ ඉස, තමන්ට දිරි දුන් අයුරු ද උන්වහන්සේ සිහි කළහ. දුෂ්කර ක්‍රියාව සිරුරට වධයක්‌ විනා විමුක්‌ති මාර්ගයට ශක්‌තියක්‌ නොවන වග පසක්‌ වී තමන් මැදුම් පිළිවෙත දෙසට යොමු වෙද්දී පස්‌වග තවුසන් අපේක්‌ෂා භංගත්වයට පත්ව තමන් හැර යැමට පියවර ගත් අයුරු ද බුදුහු සිහි කළහ. එසේ වුවද මේ ධර්මය පළමුව ඔවුන් මුල්කර දෙසීම වටනේ යෑයි බුදුහු නිශ්චය කරගත්හ. ඒ වන විට ව්‍යාප්ත වී තිබුණු බොහෝ විමුක්‌ති ව්‍යාපාර පිළිබඳව ද උන්වහන්සේ මෙනෙහි කරන්ට විය. වේදය දත් බ්‍රාහ්මණයෝද යාග පූජාවන්හි නිරත වූවෝද සමාජයෙහි ආධිපත්‍යයට පත්ව සිටියහ. එහෙත් ඒ සියල්ලන්ටම වඩා පස්‌වග තවුසන් බුද්ධියෙන්ද යථාර්ථවාදී දැක්‌මෙන්ම ඉදිරියෙන්ම සිටි අයුරු බුදුහු දුටහ. අනෙක්‌ අතින් ගත් කල කාමභෝගී ජීවිත සැපත යෑයි පිළිගත් මෝහාන්ධකාරයෙන් වෙලී ගිය කවරකුට වුවද ධර්මාවබෝධය පහසු නොවන වගද උන්වහන්සේ දත්හ. එහෙයින් පැණසර පස්‌වග තවුසෝ නියත වශයෙන්ම පළමු දහම් දෙසුමට නිසි වෙතියි සිදුහත් ගෞතමයෝ කල්පනා කළහ.

ඒ වන විට හාත්පස හිරු රැස්‌ මාලා වලින් සෝබමානව දිලිණි. තුරු හිස්‌ මත පක්‌ෂීහුද මල් ගොමු තුළ බමර කැළද දවස ඇරඹීමේ රිසියෙන් වූහ. එහෙත් වනපෙත වසා ගත් නිහඬතාව බිඳලන්ට පක්‌ෂීන්ට ද බමරුන්ටද වුවමනා නොවීය. සුළඟ සුසුම් ලන වග දැනුනේ ළා දලු පත් සැලෙන විලාසයෙනි. කුමක්‌ නිසා සොබා දහම මෙබඳු ශෝකයකින් බරිතව සිටියේද? ඒ සති අටක පමණ කාලයකින් පසුව මේ වනවාසය හැර යන සිදුහත් ගෞතමයන් වහන්සේ වෙනුවෙන් උපන් වියෝ දුක නිසාමය. ගහට, කොළට, සතා සිව්පාවන්ට ඇලුම් කළ මහා පුරුෂයකුගේ සමුගැනීම සොබා දහමට ද දැනෙන කරුණකි.

බුදුහු වැඩ සිටි ඉරියව්වෙන් නැගී සිට හාත්පස අනිමිස ලෝචනයෙන් බලා සිටියහ. සොබා දහම හා බුදුවරුන් අතර සදාතනිකව පැවැති සබඳතාව තමන් විසින්ද මනාව රක්‌නා ලද බව උන්වහන්සේ උපේක්‌ෂාවෙන් මෙනෙහි කළහ. බුදුවරු කිසිදෙයක නොගැලෙති. නොඇලෙති. සෝක පරිදේව යනාදී හැඟීම් මාත්‍රයකුදු බුදුවරයකු තුළ නැත්තේමය.

ඉනික්‌බිතිව බුදුන්වහන්සේ සන්සුන් ගමනින් පිය නගන්ට වූහ. මහපොළොව කුඹල් සකක්‌ සේ පෙරලා සැණෙකින් පස්‌වග මහණුන් අබියස ප්‍රාදුර්භූත වීමේ Rද්ධි බල බුදුන් සතු වුවද උන්වහන්සේ කිසිදු ආයාසයකින් තොරව පියෙන් පිය ඔසවා මඟ ගෙවන අයුරු දෙවි බඹහු නමස්‌කාර කරමින් බලා සිටියහ. වනමල් වලට දිවමල් මකරන්ද කවමින් දෙපස සුවඳවත් කළ දෙවියෝ බුදුන් වඩින මඟ දෙපසම රැඳී උන්හ. මෙසේ වඩනා බුදුන් මහන්සේට ආජීවකයෙක්‌ හමුවිය. හේ උපාලි නම් විය. බුද්ධ ලීලාව දුටු උපාලි විස්‌මිතව එදෙස බලා සිටිනා වග බුදුන් වහන්සේද දුටහ.

මම උපක නම් ආජීවක වන්නෙමි. තපස්‌ සඳහා ගිහි ගෙය හැර පැමිණි මට කිසි දිනක ඔබ වැනි ශාන්ත ඉරියව් සහිත ප්‍රසන්න සිනා ඇති පුද්ගලයෙක්‌ හමුවී නැත. මම ඔබ පිළිබඳ කුහුලින්ම ප්‍රමුදිතව සිටිමි. ඔබගේ ශාස්‌තෘවරයා කවරෙක්‌දැයි දැනගනු රිසියෙමි. උපක ආජීවකයා එසේ පවසත්ම බුදුන් වහන්සේ ඔහු දෙස බලා මොහොතක්‌ නතර වූ සේක. නතරව ශාන්ත ස්‌වරයෙන් ඔහු අමතා මෙසේ කී සේක.

මම අනන්තජින වෙමි. මට ගුරුවරයෙක්‌ හෝ වෙනත් ශාස්‌තෘවරයෙක්‌ හෝ නැත්තේය. මම ගෙවී ගිය වෙසක්‌ පෝ දින කෙලෙස්‌ මළ හැරපියා බුද්ධත්වයට පත්වීමි. ආශාවෙන්ද තෘෂ්ණාවෙන්ද භරිත වූ මේ ලොව වීතරාගී යම් කෙනෙක්‌ වෙත්ද ඒ මම වෙමි. දෙව් බඹ සුර නර සියල්ලෝම මට වන්දනා කළහ. පාපී මාරයා මා දිරි බිඳිණු සඳහා පැමිණ පැරද පලා ගියේය. මා මැඬලන්ට හෝ අභිබවාලන්ට මේ තුන් ලොව කිසිවෙක්‌ද නැත. මම අරහත් වන්නෙමි විමුක්‌ති මාර්ගය ලෝ සතට පෙන්වා දීමට කැප වන්නෙමි.

එබස්‌ ඇසූ උපක ආජීවක තෙමේ සිතන්නේ මේ අසමසම, අනුපමේය අද්විතීය මහා පුරුෂයා මට හමුවූයේ පෙර කර්මයක පලයක්‌ ලෙසිනි. එහෙයින් මතු යම් දිනක හෝ ඔවුන්ගේ ඇසුර මට ඒකාන්තයෙන්ම සප්‍රයෝජන වනු ඇත. ඔවුන්ගේ දේහ විලාසය මට නිසැකවම තහවුරු කරන්නේ මහා පුරුෂයකුගේ මහිමයයි. කිසිසේත් මට ඔවුන්ට පිටුපා යා නොහැක්‌කේය.

"මා ප්‍රිය අනන්තජිනයෙනි, ඔබවන් ආශ්චර්යවත් භාග්‍යවන්තයකු මේ සක්‌වලද නැත. මට මතු යම් දිනක ඔබ උපකාර්ය අවශ්‍ය වනු ඇත. මා කොදෙව්වක සිටියත් මට අනුග්‍රහ දක්‌වනු මැනවි. මම දැන් සමුගෙන යන්නෙමි.

එසේ බුදුන්ගෙන් අවසරගත් උපක ආජීවක තෙමේ අනෙක්‌ දිසාව බලා ගමන ඇරැඹීය. බුදුන් වහන්සේට උපකගේ අනාගත ජීවිතය දැක ගත හැකි විය. උපක කෙටි කලක්‌ තපස්‌ රැක දෙටු වැදි නායකයකු සමග සම්බන්ධව උන්ගේ දියණිය සමග ගෘහවාසයට පැමිණ මහත් අර්බුද සාදා ගන්නා අයුරුද දිවැසින් දුටු සේක. අනතුරුව තමන් වහන්සේ වෙත එළඹෙන මඟද නිශ්චිතව දැක ගත්තේය.

ඉනික්‌බිති බුදුන් වහන්සේ මිගදාය බලා ගමන ඇරඹූහ. ඒ සඳහා හෝරා කීපයක්‌ ගත වනු ඇද්දැයි සිහිකරන්ට ද විය. එකෙණෙහිම මහා බ්‍රහ්මයා සිතන්නේ "හෙට ඇසළ පෝදා උදාවෙයි. ඇසළ සඳ නැගෙන විට උන්වහන්සේ මංගල ධර්මය දේශනා කරන්නේ නම් එහි පල වඩාත් වැඩිවනු ඇත. මම මේ යොදුන් ගණන් දික්‌ වූ මාර්ගය හකුළා උන්වහන්සේට ගෞරව කරමියි අධිෂ්ඨාන කර ගත්තේය. බුදුන් වහන්සේටද ක්‍ෂණයකින් ඒ මාර්ගය ගෙවා දැමිය හැකි වුවද උන්වහන්සේ මහා බ්‍රහ්මයාගේ කැමැත්තට ඉඩ ලබා දුන් සේක.

ඉසිපතන මිගදාය අතිශය රමණීය භූමිභාගයකි. නිදහසේ සැරිසරන මුවෝද වෙනත් පක්‌ෂීහුද එහි සුන්දරත්වය තවත් වඩති. බුදුහු ශාන්ත ගමනින් උයන සමීපයට එළඹුණහ. එවේලෙහි පෙරදින පැටවුන් ලද මුව දෙනකගේ තතු විමසීමට උයන් කෙළවරට යමින් සිටි අස්‌සජි තවුසා එක්‌වරම බුදුන් වහන්සේ හඳුනා ගත්තේය. හේ තමන් ගිය කටයුත්ත අමතක කර ආශ්‍රමය තුළට දිව ගියේ එපවත් අන් තවුසන්ට දැනුම් දීමටය. සියල්ලෝම සතුටට මෙන්ම කුතුහලයට ද පත් වූහ. මේ තමන් සමග සිටි ඉපැරණි මිතුරාද, තමන්ගේ ගෞරවයට, බුහුමනට පාත්‍ර වූ නායකයාද බව ඔවුන්ට සිහිවිය. එහෙත් මෙවේලෙහි ඔවුන් තුළ ඇති වූයේ සැක සංකාවක්‌ පමණි.

"බලන්න, මේ එදා අප සමග උදාර අරමුණක්‌ සඳහා දුෂ්කර ක්‍රියා කළ සිදුහත් තවුසාම වුවද ඔහුගේ විලාසය බොහෝ වෙනස්‌ය. මනාව වැඩුණු, නෙත් අලවන රුසිරු විලාසය කෙනෙකු වසඟ වන තරම්ය. ඔවුන් කිසිසේත්ම මෝක්‌ෂ මාර්ගයකට හෝ ප්‍රඥවබෝධයකට හෝ පැමිණ නැති බව පැහැදිලිය. දැන් අප සොයා පැමිණියේ කුමක්‌ නිසා වුවද ඔවුන්ට පෙර සේ ගරුසත්කාර නොකළ යුතුය. හිඳ ගැනීමට අසුනක්‌ හෝ නොපැනවිය යුත්තේය. ඔහුත් අපත් සමානයෝය. අපට වඩා ඔහු පැහැපත් ඡවි වර්ණයෙන්ද, දේහ විලාසයෙන්ද යුතු වන්නේය. එකම වෙනස එයයි.

එසේ සිතා බුදුන්ට ගරු නොකරමු යන සම්මුතියට එළඹි පස්‌වග තවුසෝ සිටි අසුන්වලම තුෂ්ණිම්භූත වූහ.

බුදුහු නම් සැණකින් පරසිත් දැනගන්නා නුවණින් යුතු වෙති. උන්වහන්සේගෙන් කිසිවකුට කිසිවක්‌ සැඟවීමටද නොහැක්‌කේය. එහෙත් උන් වහන්සේ නිකරුණේ අනුන්ගේ සසර පුරුදු හෝ අනාගතය ගැන නොවිමසන සේක. මේ අවස්‌ථාවේදී නම් පස්‌වග තවුසන් සමග ඇරැඹිය යුතු ධර්ම චාරිකාවක්‌ ඇත. එහෙයින් උන්ගේ සිත් දැන දැනම ශාන්තව පෙර මඟටම වඩින්නට වූහ. බුද්ධ මහිමය යනු මේ සක්‌වළ කිසිවකට පසු බා ලිය නොහැකි විශ්ව බලයක්‌මැයි. බුදුහු ළංවත් ළංවත්ම පස්‌වග තවුසන්ට නියම කර ගත් පරිදි ක්‍රියාකිරීමේ අපහසුවක්‌ විය. නොදැනීම සම්මුතිය ද බිඳ වැටිණි. අසුන්වල සිටීමට ගත් සියලු උත්සාහයන් නිෂ්ඵල විය.

උන්වහන්සේගේ පෙර මගට මුලින්ම පැමිණියේ කොණ්‌ඩඤ්ඤ තවුසාය. හේ ඉතා ගෞරවයෙන් උන්වහන්සේට ආචාර දැක්‌වීය. අනතුරුව සියතින්ම පාත්‍ර සිවුරු ගෙන "ඇවැත්නි එන්න, දිගු කලකින්. කෙසේද ගමන් විඩාව යනාදී ලෙස සුහදව පැන විචාරන්ටද විය. භද්දිය තවුසා වහාම ගොස්‌ උණු පැන් සැකසීය. ඒ පැන් සැනහීමටය. අනතුරුව ගිලන් පසක්‌ද සකසා බුදුන්ට පිරිනමන ලද්දේ අස්‌සජි තවුසා විසිනි.

දැන් සියල්ලෝම බුදුන් වහන්සේ ඉදිරිපිට තල් පැදුරු මත වාඩිවී තුෂ්නිම්භූතව සිටිති. පළමුව නිහඬතාව බිඳින ලද්දේ පස්‌වග තවුසන් අතරම සිටි ජ්‍යෙෂ්ඨතමයා වූ කොණ්‌ඩඤ්ඤ තවුසා විසිනි.

"පින්වත් සිදුහත් තවුසාණනි, ඔබ පිළිබඳ අපට පහන් සිතක්‌ තිබුණ ද ඔබ විමුක්‌ති මාර්ගය අත්හැර ගිය ගමන අපට සංවේගයකි. ආලෝකය පෙනි පෙනී අන්ධකාරයට පනින අයෙක්‌ සේ ඔබ දුකට කිරිය හැර සිරුරට සුඛය ලබා දෙන්ට ද විය. එසඳ අපි ඒකමතිකව කතිකා කර ඔබ හැර ගියෙමු. දැන් ඔබගේ දේහ විලාසය මනරම්ය. ඔබගේ සිරුර වටා රන්වන් රශ්මි මාලාද විහිදෙයි. එහෙත් සිරුර වඩමින්, කාමභෝගී ජීවිතයකට ඔබ හුරුවීම අප තුළ සොම්නසට වඩා දොම්නසක්‌ දනවයි."

කොණ්‌ඩඤ්ඤ තවුසා සිය සිත නොසඟවා හෙළි කිරීමෙන් පසුව උන්වහන්සේ ඉතා සන්සුන්ව, එහෙත් ගාම්භීරව තමන් පිළිබඳ සංක්‌ෂිප්ත සඳහනක්‌ද කළේය. පස්‌වග තවුසන්ගේ මොහzඳුර දුරලා ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමේ අවශ්‍යතාව ද බුදුන්ට පසක්‌ විය. තමන් හා සමානයන් ලෙස හැසිරෙන තවුසන්ගේ සැකය උන්වහන්සේ මෙලෙස දුරලන්ට ද විය.

ඇවැත්නි යනුවෙන් මා ඇමතීම නොවටී. මක්‌නිසාද යත් ගෙවී ගිය වෙසක්‌ පෝ දින මම බුද්ධත්වයට පත්වීමි. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට අධිකව මවිසින් කරන ලද සංසාර චාරිකාව නිමා කළෙමි. දැන් මම ලොව්තුරා බුදු වෙමි. සම්මා සම්බුද්ධ වන්නෙමි. නුඹගෙන් ලද පරම අනුග්‍රහය සිහි කළ මම මෙසේ ප්‍රථම ධර්මය දෙසීම සඳහා මිගදායට පැමිණියෙමි. මගේ ගමනට මහ බ්‍රහ්මයා ප්‍රමුඛ සියලු සම්‍යක්‌ දෙවිවරු අනුබල අනුග්‍රහ දැක්‌වූහ. උරුවෙල, දනව්වෙහි සිට දෙසැත්තෑවක්‌ පමණ වූ දීර්ඝ මඟ ගෙවා මෙහි පැමිණියෙමි.

එසේ වුවද පස්‌වග තවුසෝ එක්‌වරම උන්වහන්සේගේ වචන නොපිළිගත්හ. එසේම ප්‍රතික්‌ෂේප ද නොකළහ.

"කමා කළ මැනවි. අපට පිළිවිසීමට බොහෝ කරුණු ඇත. එයට අවසර ලැබේ නම් ඒවා විමසීමට හැකි යෑයි ද කියා සිටියෙන් බුදුන් වහන්සේ නිහඬවම එය අනුමත කළ සේක.

අප ඔබ හැර ගියේ ඔබ විසින් රක්‌නා ලද උග්‍ර තපස්‌ හැර සිරුර වැඩීමට යොමු වීමත් සමගය. ඒ සා දුෂ්කර පිළිවෙතක්‌ හැර කෙලෙස සත්‍යාවබෝධය කළෙහි දැයි අප සිත තුළ කුහුලකි.

එවිට උන්වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

මා ප්‍රිය සහායකයිනි. ඔබත් අපත් අතර තිබූ බැමි ලිහිල් වී ගිය බවක්‌ මට නොදැනෙයි. එහෙත් මවිසින් සොයා ගන්නා ලද ධර්ම මාර්ගය මොනම ආකාරයකින්වත් සිරුරට දුක්‌ දීමෙන් පාදාගත නොහැකි බව මට වැටහී ගියේය. මේ ගැඹුරු ධර්මය සඳහා නියත මාර්ගය මම පාදා ගනිමි. ඒ අධිකව කයට දුක්‌ දෙන අත්ථකිලමථානු යෝගය ද අප්‍රමාණව කයට සුව දෙන කාම සුඛල්ලිකානු යෝගයද හැර මධ්‍යම ප්‍රතිපදාව තෝරා ගැනීමෙනි. කාමසුඛල්ලිකානු යෝගය හීන වූ ග්‍රාම්‍ය වූ නොවටිනා වූ අන්තයක්‌ බව මම දනිමි. එය කිසිසේත් ප්‍රඥවන්ත නොවන්නේය. අප්‍රමාණව කයට පීඩා දෙමින් දරාගත නොහැකි වධ හිංසා පමුණුවමින් සිදු කරන අත්තකිලමථානු යෝගය ද නිෂ්ඵල බව මට පසක්‌ විය. මම එය හැර දැමීමි. එකල්හි අපේක්‍ෂා භංගත්වයට පත්වූ ඔබ මා හැර ගියහ. එහෙත් මම මගේ අධිෂ්ඨානශීලය නො බිඳීමි. අනිත්‍ය ධර්මය ඔස්‌සේ සිත යොමු කළ මම දුකත්, දුක ඇතිවීමට හේතුවත්, දුක නැති කිරීමත්, දුක නැති කිරීමේ මාර්ගයත් දිටිමි. කාම තෘෂ්ණා, භව තෘෂ්ණා හා විභව තෘෂ්ණා ගැඹුරින් විමර්ශනය කළ මම ආර්ය සත්‍යය දිටිමි. 

අනතුරුව මම ආර්ය අෂ්ටාංගික මාර්ගය පසක්‌ කළෙමි. මම ක්‍රමයෙන් ආලෝකය වෙතට ළංවීමි. මා තුළ වූ ඇල්ම ද සියලු ආකාර බැඳීම් ද දුරු විය. මට මහත් අස්‌වැසිල්ලක්‌ දැනිණි. මම මේ සියලු සතුන් අතර ද දෙවි බඹුන්a හා මිනිසුන් අතර ද ශ්‍රේෂ්ඨතමයා බවට පත්වීමි. මම ලොව වසා ගත් අන්ධකාරය දුරලා බුද්ධියේ පහන් සිළුව දල්වාලමි. මා ඇමතිය යුතු සුදුසුම පදය "බුද්ධ" නම් වේ. බුද්ධ යනු ප්‍රඥවේ හිණිපෙතයි. බුදු බව යනු මෙලොව තිබෙන්නා වූ උතුම් පදවියයි. එය සක්‌විති පදවියට ද වඩා ශ්‍රේෂ්ඨ වූද ගැඹුරු වූද පූජනීයත්වයකි.

බුදුහු මෙසේ සැකෙවින් ගැඹුරු දහම් දෙසූහ. ඉක්‌බිති පස්‌වග තවුසන්ගේ සියලු සැක සංකා දුරුවිය. අඳුරු වළාවකින් මුවා වූ සඳමඬල ඉන් මිදී සුදිලෙන්නාක්‌ සේ පස්‌වග තවුසෝ ද මෝහය දුරලූහ. ලෝක සත්ත්වයාට ද සද්ධර්මය නමැති අමා පැන් පානය කර සසර දුක්‌ දුරලීමේ මඟ විවර වූ බව දත් දෙවි බඹහු සාධුකාර දෙන්නට ද වූහ. දැන් සංඝ නමැති අනෙක්‌ රත්නයද පහළව ඇත. එය ලෝකයාගේ අභිවෘද්ධියට හේතු වන්නේ යෑයි ද දත් සම්‍යක්‌ දෙවිවරු ද ඉමහත් ප්‍රමෝදයට පත් වූහ.